×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ජනපතිගේ ජපාන සංචාරය අතරවාරයේ දී ගිවිසුම් දෙකකට අත්සන් තබයි

Local  •  Published on: 2025-09-30 02:54:40

ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (JETRO) මුලස්ථානයේ දී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ වට මේස සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජපානයේ නව ආයෝජන අවස්ථා සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස ජනාධිපතිවරයා පෙන්වා දුන් බවත් වංචා සහ දූෂණය පිටුදැකීම සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර සහ ඒ ඔස්සේ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනැගීමට දරන උත්සාහය පැහැදිලි කළ බවත්ය.

ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවෙකු ලෙසද ජනාධිපතිවරයා මෙහිදී හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව සහ එමගින් දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවද ජනාධිපතිවරයා මෙම හමුවේදී වැඩිදුරටත් පෙන්වා දී ඇති බව වාර්තා වනවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන නිල සංචාරය අතරවාරයේ දී ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති දෙකක් සම්බන්ධ "අත්සන් හුවමාරු" කිරීම ඊයේ (29) පස්වරුවේ සිදුකර තිබෙනවා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන මෙම ගිවිසුම්, "නිල ආරක්ෂක සහය වැඩසටහන (OSA)" සහ "කිරි ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය" යටතේ අත්සන් තබන ලද බවයි.

ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකීඕ ඉසොමාටා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.