හක්කා පටස් සහ චීන පටස් සොයා විශේෂ මෙහෙයුමක්
Local • Published on: 2025-09-30 09:12:59
නීති විරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රතිඤ්ඥා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරන ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින් හක්කා පටස් සහ චීන පටස් නැමැති නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බවයි.
වගාබිම්වලින් වන සතුන් පළවා හැරීම සඳහා බහුලව භාවිත වන මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මඟින් පසුගිය කාලසීමාව තුළ පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.
මෙයට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික සහ සංරක්ෂණ අභියෝග ද මතුව ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
මේ වන විටත් තහනම් කර ඇති හක්කා පටස් සහ චීන පටස් නැමැති මෙම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය බෙදා හැරීම සහ විකිණීම පිළිබඳව ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පොලීසිය සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම නීතිවිරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලබාදී ඇති බවත්ය.
තවද රතිඤ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයින් මින් ඉදිරියට මෙවැනි නීතිවිරෝධී නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින බව හෝ ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදන බලපත්‍ර අවංලගු කිරීමට ද කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.