ඒක අත්වැරදීමක් වරදට සමාව දෙන්න - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
Local • Published on: 2025-09-30 10:33:56
ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය පිළිබඳව අදහස් දැක්වීමේ දී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.
ඔහු සිය සටහනෙන් පෙන්වා දෙන්නේ මෙරට තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ සඳහා ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් වාර්තා අතර එක් වූ බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධව අදහස් දැක්වීමේ දී තමා අතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධව තමා කණගාටුව වන බවද අමාත්‍යවරයා සිය සටහනෙන් පෙන්වා දී තිබෙනවා.
අමාත්‍යවරයාගේ සම්පූර්ණ සටහන පහතින්,
"ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කනගාටු වෙමි.
මේ වනවිට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කනගාටු වෙමි."