×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

තාජුඩීන්ගේ ආත්මයට සාධාරණයක් සිදු කරන්න - නාමල් රාජපක්ෂ

Local  •  Published on: 2025-10-01 15:56:03

වසීම් තාජුඩීන් යම්කිසි අසාධාරණයකට ලක්වී ඇත්තේ නම් සාධාරණ හා අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (01) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

වත්මන් ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවැති යහපාලන ආණ්ඩුව ද වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳව රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවද ඔහු මෙහිදී කියා සිටියා.

"මේ ආණ්ඩුව බලයට එන්නත්, බලයට  එන්න කලින් හිටපු යහපාලන ආණ්ඩුවත් මේ  රාජපක්ෂලා කේන්ද්‍ර කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගුවා.  අපි ගැන 2015 ඉඳන් පරීක්ෂණ කටයුතු කෙරුවා. තමන්ට මැතිවරණ වේදිකාවල කියපු කාරණා බොරු සත්‍ය කරන්න උත්සාහ කළා. අපි දැක්කා ඔය තාජුඩීන්ගේ කේස් එක සම්බන්ධයෙන් නාරහෙන්පිට ඕ අයි සී මහත්තයව ගෙනිහිල්ලා බලහත්කාරයෙන් බොරු සාක්කි කියවගන්නත් එදා හිටපු නිලධාරීන් කටයුතු කළා. ඒ නිලධාරින් ම තමයි අද ඉහළ පුටුවල වාඩිවෙලා මේ ආණ්ඩුව ඇතුලෙත් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා පහුගිය දිනවල හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්කි කියන්න බලපෑම් කරා කියලා පොලිසියෙ නිලධාරියෙක් අධිකරණයට ගිහිල්ල තියෙනවා.

මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  නිරන්තරයෙන් බොරු  සාක්කි හදලා තමන්ගේ ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කළා. මං දැක්කා ඊයේ දිනයේදීත් පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා යම් මාධ්‍යයට කරුණු දක්වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්විය යුත්තේ මාධ්‍යට නෙවෙයි අධිකරණයට. අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්න ඕනේ කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරනවා කියන්නෙම තමන්ට මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩනගන්න තියෙන උවමනාව. ඉතින් අපි අදත් ආණ්ඩුවට කියන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන්න. මේ සියලු කාරණා ගැන හොයලා බලන්න. යම් කිසි කෙනෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා ඉණට අත තියන් ඉන්නවා කියලා හඳුන ගත්තනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදිහට ම  ඒ ඇයගේ ස්වාමිපුරුෂයාද ඇය පහුගිය දිනවල කොහෙද ජීවත් වුණේ කාත් එක්කද හිටියේ කවුද ඇසුරු කළේ කියන කාරණාවත් ආණ්ඩුව සහ පොලිසිය හොයලා බලන්න ඕන.

ඒ වගේම තමයි මේ තාජුඩීන් සම්බන්ධයෙන් තමන්ගේ දේශපාලන වේදිකාව නිර්මාණය කරගන්න මහන්සි වෙන්නෙ නැතුව ඔහු යම්කිසි අසාධාරණයකට ලක්වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සාධාරණව අපක්ෂපාතික කරන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ ඔහුගේ ආත්මෙටත් කරන ලොකු අසාධාරණයක්. යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ඨ කරගන්න ආණ්ඩුවේ දේශපාලන වාසිය සහ ආණ්ඩුවෙ  දේශපාලන අවස්ථාව ඉෂ්ට කරගන්න, දැන් පහුගිය කාලෙ  අයිස් සතිය තිබ්බා රනිල් සතිය තිබ්බා. දැන් ඇවිල්ල තියෙනවා තාජුඩීන්ගේ සතිය. ඉදිරි කාලසීමාවේදී මොන මොන සති මේ ආණ්ඩුවෙන් එළියට ගෙනෙයිද දන්නේ නැහැ. අපි කියන්නේ ආණ්ඩුවට කරුණාකරලා මේ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතිව  කරන්න.

ආණ්ඩුව අපි ගමින් ගමට යනකොට ගම්වලට ගිහින් ජනතාව එක්ක ඒක රාශි වෙනකොට ආණ්ඩුව කියපු බොරු. රොකට්එක සම්බන්ධයෙන් බොරු කිවුවෙ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලේ අපි නෙමෙයි.ඒ රොකට් එක පැලවත්තට කඩන් වැටුනම අනිත් පැත්තෙන් නෙලුම් කුලුන ණය කුලුන කියපු අයට නෙලුම් කලුන ලාබ ලබන ආයතනයක් කියලා ප්‍රකාශට පත් කරන්න වුනාම නිරන්තරයෙන් බොරු චෝදනා හදලා අපේ ඇගේ ගහන්න උත්සහ කලාම කන්ටේනර් පන්නපු අයගේ නම ඇහුවම වරායෙන් කන්ටේනර් 323 හා අර කියන කන්ටේනර් දෙක එලියට දාන්න කවුද අවසර දුන්නේ කියලා නම කියන්න කියලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කලාම තමන්ට ඒ එලියට දාපු කෙනාගේ නම කිවුවොත් මේ කනටේනර් 323ත අර කුඩු කන්ටේනර් දෙකත් පැලවත්තට කඩන් වැටෙන නිසා තජුඩීන්ව ගොඩගන්න උත්සහ කරනවා.

ආණ්ඩුව නිරන්තරයෙන් තමන්ව ප්‍රශ්න කරන අවස්ථාවේදී ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට ඒ ප්‍රශ්න යට ගහගන්න ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා. අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා අපක්ෂපාතිව පරීක්ෂණ කරන්න.සාධාරණ පරීක්ෂණයක් කරන්න. ඒ වගේම තමයි මේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වෙන්න පුළුවන් යම්කිසි වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ආණ්ඩුවෙ වුවමනාව මත මාධ්‍යට ඇවිල්ලා බොරු කරුණු දක්වන්න උත්සාහ කෙරුවොතින් අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්‍ෂණකටයුතුවලට අගතියට පත්වෙන විදියට තමන්ගේ ප්‍රකාශන කටයුතු කරන්න ලෑස්ති වෙනවා නම් ඒ පිළිබඳවත් අප ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවා."