හිටපු ජනාධිපති මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාර දෙයි
Local • Published on: 2025-10-03 13:15:10
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රයෝජනය සඳහා දී තිබූ වාහන දෙකෙන් එකක් අද (03) භාර දීමට නියමිතව තිබෙනවා.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීම සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවතේ නිල නිවෙසින් ඉවත් වී තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියා.
මෙම පනතට අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ ප්‍රවාහන පහසුකම් ද ඉවත් කෙරුණා.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වාහන නැවත භාර දීමට ද සිදු කෙරුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙඩි නොවදින මෝටර් රථයක් හා ටොයෝටා ලෑන්ඩ් රෝවර් රථයක් 2025 වසරේ දී ලබාදී තිබුණා.
ඉන් වෙඩි නොවදින මෝටර් රථය අලුත්වැඩියා කටයුත්තක් සඳහා මාතර පිහිටි ගරාජයක මාස කිහිපයක් ඔස්සේ නවතා ඇති අතර තවමත් එහි අලුත්වැඩියා කටයුතු අවසන් නොමැති බවද සඳහන්.
ඊට අමතරව එම වාහනය භාර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී ඇති බවද වාර්තා වනවා.
ලෑන්ඩ් රෝවර් රථය භාර දීම සඳහා ඊයේ (02) තංගල්ලේ සිට කොළඹට ගෙනැවිත් ඇති අතර අද (03) එය භාර දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව වාහන දෙකම නොමැති වූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීමට පවා වාහනයක් නොමැති බවද පැවසෙනවා.
මේ අතර වෙඩි නොවදින වාහනයක් නොමැති වීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධව දැනට ගැටළුවක් පවතිනවා.
ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් රජයෙන් රියැදුරන් දෙදෙනෙක් පත් කර තිබී ඇති අතර එම පත්වීම් දෙක පසුගිය (01) සිට අවලංගු කර ඇති බව ද වාර්තා වනවා.