×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළවූ පුවතට පොලීසියෙන් ප්‍රතිචාර  •  සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ - කාදිනල් හිමි  •  සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී  •  ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට  •  ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි

Local  •  Published on: 2025-06-22 14:50:39

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.

කෙසේ වුවද මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලුණු අතර ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2000ක් වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කෙරිණි. 

ඒ අනුව මෙම නව මිල ගණන් එළැඹෙන ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වීමටද නියමිතය. 

එසේම පසුගිය මැයි මස 23 දින එම කාරක සභාව තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් තීරණය කර තිබේ. 

තවද නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ එක් කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

මේ වනතෙක් මෙම නිවාඩු නිකේතනය වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වූ අතර කථානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කෙටසක් මේ ආකාරයෙන්  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමට ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇත.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු වූ අතර පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හිදී පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.