කෙහෙල්බද්දර පද්මෙට අයත් තවත් ගිනිඅවියක් ඌරගස්මංහන්දියෙන් සොයා ගනී
Local • Published on: 2025-10-04 03:29:52
කෙහෙල්බද්දර පද්මෙට අයත් බවට පැවසෙන තවත් ගිනි අවියක් ඌරගස් මංහන්දිය ප්‍රදේශයෙන් ඊයේ (03) සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඌරගස්මංහන්දිය පොලිස් වසමේ අතුරු මාර්ගයක සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයාගත් බවයි.
මේ අනුව එහි සඟවා තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා පතරොම් ගැබක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරමිනි.
මේ අනුව ඇය විසින් හබයාස් කෝපස් සහ රීට් අධිකරණය බලය මඟින් නියෝගයක් ඉල්ලා මෙම රීට් පෙත්සම ගොනු කර තිබෙනවා.
ඇය එම පෙත්සමේ දී විසින් නඩුව අවසාන තීරණය ගන්නා තෙක් රැඳවියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.
ඒ අනුව මෙම කාරණය විභාගයට ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරන තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවයි.
රැඳවියා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා සිටින අතරතුර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන සියලුම පරීක්ෂණ කටයුතු පවත්වන බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.
නඩුව ලබන 23 වනදා කැඳවීමට ද නියමිතයි.