ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් සංවිධානය පිළිගනී
Foreign • Published on: 2025-10-04 08:03:03
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇති බවයි.
ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
සාමය සඳහා වූ 'ට්‍රම්ප්ගේ සැලැස්ම' වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමඟ කටයුතු කරන බවද එම නිවේදනයෙන් ඔහු පෙන්වා ඇති බව සඳහන්.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth අවකාශයේ ඊයේ (03) සටහනක් තබමින් හමාස් සංවිධානය අනතුරු අඟවා සිටියේ එළැඹෙන ඉරිදා (05) ග්‍රිනිජ් වේලාවෙන් 22 වන පැයට එනම් වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6 වන විට තම සාම සැලැස්මට එකඟ විය යුතු බවයි.
මෙම සැලැස්ම මඟින් වහාම සටන් නවත්වා හමස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් භාරදීමට යෝජනා කර තිබුණා.
ඒ වෙනුවෙන් ඊශ්‍රායලය භාරයේ සිටි ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කර ගැනීම සිදු කරනු ඇති.
අදාළ එකඟතාවයට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයකට එරෙහිව ගත හැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බව ට්‍රම්ප් සිය Truth අවකාශයේ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මේ අනුව වසර 2කට ආසන්න යුද්ධය අවසන් කර 2023 ඔක්තෝබර් 7 වනදා දින ප්‍රහාරයෙන් අල්ලා ගත් ඉතිරි සියලුම ඇපකරුවන් ආපසු ලබාදීමට හමාස් සංවිධානය පිළිගෙන ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වන හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත් ගාසා පාලනයෙන් ඉවත්විය යුතු බවත් වන යෝජනාවන් සම්බන්ධයෙන් හමාස් සංවිධානය අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවත් සඳහන්.