නීතීඥවරයා අත්අඩංගුවට ගන්න ගිය පොලීසිය හිස් අතින් ඇවිත්
Local • Published on: 2025-10-13 02:30:46
ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වූ සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
අප විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් සිදුකළා.
එහිදී එම කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අදාළ නීතිඥවරයාගේ නිවසට පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවයි.
පසුගිය සිකුරාදා දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේ දී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනාවක් එල්ල වී තිබුණා.
එම අවස්ථාවේ අදාළ නීතිඥවරයා ද තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සමඟ පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.
මේ අතර සිද්ධිය සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නීතිඥවරයා විසින් පොලිස්පතිවරයා සෘජුව අමතා සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට අසත්‍ය මතයක් සමාජ ගත වෙමින් පවතින බවද එම නිවේදනයේ දැක්වෙනවා.
නීතිඥවරයා විසින් එම අවස්ථාවේ දී දුරකථනය හරහා පොලිස්පතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ලෙස ඔහු විසින් ''ප්‍රියන්ත මගේ ජුනියර් බැජ් එකේ...'' ''ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න...." යනුවෙන් සඳහන් ප්‍රකාශ එම වීඩියෝ පට දර්ශනවල දක්නට ඇති බව වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මෙම සිදුවීමට අදාළව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිඳු දුරකථන සංවාදයක් සිදුව නොමැති බවයි.
පොලිස්පතිවරයා එම සිද්ධිය දැනගැනීමෙන් පසුව ගල්කිස්ස ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිදු අවස්ථාවක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබාදී නොමැති බවද සඳහන් වනවා.
කෙසේ වෙතත් පොලිස්පතිවරයා විසින් එම නිලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ වන අවස්ථාව වන විට සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලීසිය පවසනවා.
සිද්ධියට අදාළ නඩු විභාගය අද දිනයේ යළි කැදවීමට නියමිතයි.