බිඳ වැටුණු සේවාවන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
Local • Published on: 2025-10-14 03:23:17
දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද (14) පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දෙනු ලැබුවා.
මේ අතර ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට තාවකාලිකව බලපෑම තවදුරටත් එල්ල වී තිබෙනවා.
මෙම සේවාවන් අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ - පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි මීට අයිති වනවා.
කෙසේ වෙතත් තොරතුරු සන්නවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන් මෙම ක්ලවුඩ් සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ සහතික පිටපත් අදාළ මුල් සහතික පත් නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පද්ධතිවල සහය නොමැති ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශවකාර ආයතන වෙත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව නිසි පරිදි දැනුම් දී ඇති බවද සඳහන්.
LGC සේවාවන් නැවත ස්ථාපිත කිරීම සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර, 2025 ඔක්තෝබර් මස දී ආරම්භ කරන ලද LGC ව්‍යාප්තියේ මීළඟ අදියර ක්‍රියාත්මක කිරීම තුළින් පවතින ධාරිතා සහ මෙභෙයුම් සීමාවන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
ICTA ආයතනය මහජනතාවට සහ LGC හි සත්කාරකත්වය දරන ආයතනවලට සිදු වූ අසීරුතාවය පිළිබඳව තම බලවත් කනගාටුව පළ කරන අතර, හැකි ඉක්මනින් මාර්ගගත සේවාවන්හි පූර්ණ ධාරිතාව යථා තත්ත්වයට පත් කිරීමට සියලු ප්‍රයත්නයන් දරන බව යළිත් සහතික කරයි.