අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 8346 දෙනෙක්ට පීඩා
Local • Published on: 2025-10-21 16:33:01
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා.
මේ හේතුවෙන් සිදුව ඇති අර්ධ නිවාස හානි ගණන 335කි.
මේ අතර පසුගිය 19 වනදා අධික වැසි මධ්‍යයේ උපකාරක පන්ති ගොස් නැවත පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ කණුවකට ඇදවැටී මීටර් 80ක් පමණ ජලයේ ගසා ගෙන ගිය 17 හැවිරිදි සිසුවිය අද (21) ජීවිතක්ෂයට පත්වුණා.
අවිස්සාවේල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ අද (21) සහ හෙට (22) දිනයේත් දිවයිනේ පළාත් රැසකට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 12 තුළ අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ගත වූ දින කිහිපයේ සහ ඊයේ (20) රාත්‍රියේ සහ අද (21) දහවල් කාලයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ඇඳ හැලුණා.
ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ගාල්ල සිරිකඳුර වතුයායෙන් වන අතර එහි අගය මිලිමීටර් 241කි.
තවද ගාල්ල මොන්රෝවියා ප්‍රදේශයට මිලිමීටර් 229.2ක වර්ෂාපතනයක් සහ ගාල්ල බලපිටියට මිලිමීටර් 178.6ක් වර්ෂාපතනයක් ඇද හැලී තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැනට දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසකට ඉතා තද වැසි අපේක්ෂා කරන බවයි.
මේ අනුව ඉදිරි පැය 12 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇද හැලිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දිගින් දිගටම ඇදහැලෙන තද වැසි සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කෙරුණා.
පවතින තද වැසි සමඟ ප්‍රදේශ රැසක ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා.
මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8ක්, කලා වැවේ වාන් දොරටු 2ක්, අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් ලෙසිනි.
තවද කුරුණෑගල දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් ද, මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් තවදුරටත් විවෘත කර තිබෙනවා.
තවද මොනරාගල අලිකොටආර ජලාශයේ වාන්දොරටු තුනක් සහ මාතලේ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 04ක් සහ කුරුණෑගල කිඹුල්වානාඔයේ වාන් දොරටු 02ක් විවෘත කර ඇති බව සඳහන්.