ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන ලෙස ඉල්ලා පෙත්සමක්
Local • Published on: 2025-10-22 03:27:50
ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
මෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.
තමා බලපත්‍රලාභී ආයුර්වේද සම්බාහන (ස්පා) ආයතන පවත්වාගෙන යන්නන්ගෙන් සමන්විත සංගමයක් බවද පෙත්සම්කරු පෙන්වා දෙනවා.
තමා විසින් පවත්වාගෙන යන සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හා සුදුසුකම්ලත් තෙරපිවරුන් හා තෙරපිවරියන් සිටින බව පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.
පෙත්සම්කරු පවසන්නේ 2019 වසරින් පසුව මෙවැනි සම්භාහන ආයතන පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් මේ හේතුවෙන් සිය රැකියා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත්ය.
මේ හේතුවෙන් පොලීසිය වරින් වර සිය සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී මැදිහත්වීම් සිදු කිරීම නිසා සිය වෘත්තීය නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවද පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි සම්බාහන ආයතන නියාමනය කිරීම සඳහා රජය විසින් පනත් කෙටුම්පතක් සකස් කිරීමට සුදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවයි.
මේ අනුව අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.