ආණ්ඩුව ජනතාව වෙනුවෙන් එක පොරොන්දුවක් වත් ඉටු කරලා නෑ - උදය ගම්මන්පිල
Local • Published on: 2025-10-27 10:37:34
ආණ්ඩුවට එරෙහිව මහා ජන හඬ දැවැන්ත විරෝධතා රැළිය ලබන 21 වනදා සවස 2ට නුගේගොඩ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා.
මේ සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් එක්ව විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් අද (27) දින කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වුවා.
මෙහිදී අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ දේශපාලන පක්ෂ රැසක්, සිවිල් සංවිධාන හා ස්වාධීනව කටයුතු කරන හිටපු මැති ඇමතිවරු රැසක් ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ නැංවිම සඳහා එකතුවන බවයි.
"සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නව ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක්ම ආණුඩුවට එරෙහි මෙම විරෝධතා රැළියට සහභාගි වනවා.
ආණ්ඩුවට වසරක් සම්පූර්ණවෙලා අවසන්. මේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු 1359ක් ලබාදුන්නා. ජනතාව වෙනුවෙන් එක පොරොන්දුවක්වත් ඉටුකරළා නැහැ.
ඊට අමතරව රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා. රටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය ගැන කිසිදු විශ්වාසයක් නැහැ. ජනතාවගේ ආරක්ෂාව අනතුරේ.
ආණ්ඩුව සිදුකරන්නේ දේශපාලන පළිගැනීම් පමණයි.
ශ්‍රී ලංකා පොලීසිය හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලීසිය බවට පත්වෙලා. එදා දෙවන ලෝක යුද්ධය වෙලාවේදී හිට්ලර් පරාජය කිරීමට ලෝකයේ සියළුම මිත්‍ර රටවල් එකතුවූයේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විපක්ෂයේ සියළුම බලවේග එක්වී ඔවුන්ගේ ආශිර්වාදය යටතේ නොවැම්බර් 21 වෙනිදා ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ විරෝධතා රැළිය නුගේගොඩදී පවත්වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියළුම දෙනාට එදිනට ආරාධනා කරනවා."
මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ආණ්ඩුවට තිබූ ජනමතය මේවන විට ලක්ෂ ගණනින් පහළයමින් පවතින බවයි.
ජනතා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිඳු උවමනාවක් නොමැති බවත් ආණ්ඩුව ඒවා මඟ හරිමින් සිටින බවත් ඔහු මෙහිදී කියා සිටියා.