රටම එකට - ජාතික මෙහෙයුම අද සිට
Local • Published on: 2025-10-30 03:30:47
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල රටම එකට - ජාතික මෙහෙයුම අද (30) දින සිට ආරම්භ වනවා.
මෙහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරු 10ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.
මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක්කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.
මහජන සහභාගීත්වයක් සහිත පුළුල් යාන්ත්‍රණයක් ඔස්සේ මෙය ක්‍රියාත්මක වනවා.
මෙහිදී මත්ද්‍රව්‍ය සැපයුම් සහ ඊට ඇති ඉල්ලුම අඩාල කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අනුව පාසල්, විශ්ව විද්‍යාල, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන ඇතුළු ආයතන අද (30) සිට මෙම වැඩසටහන සඳහා එක් කෙරෙනු ඇති.
මෙම වැඩසටහනට සමගාමීව සියලු පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන් ප්‍රතිඥාවක් ලබාදීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේ අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට - ජාතික මෙහෙයුම“ සදහා සියලුදෙනාගේ දායකත්වය බලාපොරොත්තු වන බවයි.