×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ත්‍රිමලේ සිද්ධිය ගැන අමරපුර මහා නිකායෙන් නිවේදනයක්

Local  •  Published on: 2025-11-17 16:47:53

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පොලීසිය විසින් ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමි විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ මෙම විහාරස්ථානය 1951 වසරේ සිට පවත්වාගෙන එන ලබන විහාරස්ථානයක් වන බවත් එය බෞ.කො./විහා දේ / 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයක් බවත්ය.

මේ අනුව 2025 වසරේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇති බවද අදාළ ලිපියේ දැක්වෙනවා.

ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ එසේ කරුණු තිබියදීත් ඒ හිමිකම් දීමනා ප්‍රදානයක් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂූන් වහන්සේලාට එල්ල වී ඇති තර්ජන අභියෝග මහා සංඝරත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇති බවයි.

විශේෂයෙන්ම ඊයේ (16) දින සිදුවූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින බවද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වෙනවා.

මේ අතර ත්‍රිකුණාමලය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ එම ස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවයක් දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, මෙම සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන බවත්ය.

“2025.11.16 වන දින ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලා හා දායක පිරිසක් විසින් 2025.11.16 වන දින ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුල අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කලමණාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව ත්‍රීකුණාමලය කොට්ඨාස භාර නිලධාරිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් මෙම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙසද දන්වා ඇතත් ඉදිකිරීම් නොනවත්වා සිදු කර ඇත.

මෙම බුදු පිළිමය කැන්පත් කර ඇති ස්ථානයට යාබද ස්ථානයද, මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදු කිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත්, මෙයට පෙර කොටුව පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට පරිසර අමාත්‍යාංශය මඟින් 2025.10.16 වන දින ලිඛිතව දැනුම් දී තිබී ඇති පසුබිමක 2025.11.16 වන දින මෙම ප්‍රශ්නගත ඉදිකිරීම සහ බුදු පිළිමය ස්ථාපිත කිරීම සිදු වී ඇත.

මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩ ප්‍රස්ථාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලිසියට නිරීක්ෂණය වී ඇත. මෙම ප්‍රදේශයේ සියළු ජාතීන් නියෝජනය වන ප්‍රදේශයක් වන බැවින්, යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කර ගනිමින් යම් කඩාකප්පල්කාරි පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදු කළහොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වාගෙන යාමට විශාල ගැටළුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේදී බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත වැඩම කරවා ගෙන ඒමට කටයුතු කර ඇත.

2025.11.16 වන දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කලමනාකරණ දෙපාර්තමේන්තුව මගින් වරාය පොලිසිය වෙත යොමු කරන ලද පැමිණිල්ලට අනුව සිදු කරමින් පවතින අනවසර ඉදි කිරීම නැවැත්වීමට යාමේදී එම ස්ථානයට රැස්වුනු පිරිස කලහකාරි ලෙස හැසිරීමේදී එය පාලනය කිරීමට පොලිසිය විසින් කටයුතු කළද කිසිඳු අවස්ථාවක මහා සංඝරත්නයට හෝ මහජනතාවට පහර දීමක් සිදු කර නොමැත.

තවද, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බැවින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් එකඟතාවකට පැමිණ ඇති බැවින් මෙසේ පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිළිමවහන්සේ නැවත වැඩම වීම සඳහා ගරුතර මහා සංඝරත්නයට සහ දායක සභාවට භාර දී ඇත.

2025.11.17 වන අද දින මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.