රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
Local • Published on: 2025-11-18 03:03:22
සිය ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ ඊයේ (17) පැවැති සාකච්ඡාවේ දී සිය ගැටළු සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුණු බවයි.
එළැඹෙන වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටළු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.
අදාළ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
කඩා වැටී තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කොට ඇති බව ජනාධිපති මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී එම සංගමයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මුලික අභිප්‍රාය බවත් ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත්ය.
කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් පවත්වා තිබුණා.
එහිදී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය වූ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළා.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකිර්ණයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.