සනත්ගේ ගොවි දරුවෝ තුන්කොන් තරඟාවලියේදීත් සුපුරුදු රිද්මයට එයි
Local • Published on: 2025-11-21 02:40:30
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය ඊයේ (20) පැවැති සිම්බාබ්වේට එරෙහි තරඟයෙන් ලකුණු 67ක අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.
රාවල්පින්ඩි හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Brian Bennett ලකුණු 49ක් ද Sikandar Raza ලකුණු 47ක් රැස් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ හෙලුවා.
ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 95ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 25කින් ලකුණු 34ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 11ක් රැස්කළ අතර ඒ හැරෙන්නට කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10ක් හෝ රැස්කිරීමට සමත් වුයේ නැහැ.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රැඩ් එවන්ස් කඩුලු 3ක් සහ රිචඩ් ගරාවා කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
මෙය විස්සයි විස්ස තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ දැවී ගිය තෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලොව ඕනෑම කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය 9 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වනවා.
සිම්බාබ්වේ කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය ICC පූර්ණ සාමාජික රටකට එරෙහිව ලකුණු පරතරකින් ලද දැවැන්තම ජයග්‍රහණය ලෙසද වාර්තා අතරට එක්වනවා.
තවද ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ විස්සයි විස්ස තරඟයකදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය දෙවන අවස්ථාව මෙය වනවා.
සැප්තැම්බර් මස සිම්බාබ්වේ හි සිදුකළ සංචාරය අතරවාරයේ දී පැවැත්වුණු විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 80කට සියලු දෙනා දැවී ගියා.