හල්දුම්මුල්ල මාර්ගයේ වාහන ගමනාගමනය ගැන ගත් තීන්දුව
Local • Published on: 2025-11-25 02:22:22
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුම්මුල්ල අතර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබුණු රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ මෙලෙස පස්කන්දක් කඩා වැටී ඇති බවයි.
අදාළ ප්‍රදේශය තවදුරටත් නාය යෑමේ අවදානමක් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පස්කන්ද කඩා වැටුණු ස්ථානය අද (25) මාර්ග සංවර්ධන නිලධාරීන් විසින් පරික්ෂාවට කිරීමට නියමිතයි.
මේ අතර නාය යෑම් හේතුවෙන් දැනට වසා ඇති පහළ කඩුගන්නාව මාර්ගය වර්ෂාව නොමැති අවස්ථාවලදී පමණක් එක් මංතීරුවක් පමණක් විවෘත කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් කේ.එම් බණ්ඩාර මහතා පැවසුවේ අදාළ මාර්ගයේ වාහන ගමනාගමනයට විවෘත කිරීම සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 7කට සිදු කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානය පවසන්නේ බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ නුවරඑළිය, කුරුණෑගල, රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාවට අවධානම් නිවේදන නිකුත් කර ඇති බවයි.
මීට අමතරව ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් 2 මට්ටමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
එම ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිල්වලා ගඟ, තලගහගොඩ සහ පානදුගම යන ප්‍රදේශවලින් පිටාර මට්ටමට පැමිණ ඇති බවයි.
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර එමගින් තත්ත්පරයට ඝන අඩි 16,200 බැගින් ජලය මුදාහැරීමක් සිදුවන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.