අයහපත් කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
Local • Published on: 2025-11-28 09:01:13
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ආපදාවට ලක්ව සිටින මහජනතාව මුදා ගැනීම සඳහා මේ වන විට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ආපදාවට ලක්වූ ප්‍රදේශවලට ළඟා වෙමින් පවතින බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධව දැනුවත් කිරීමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ දී අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින්.
තවද ග්‍රාම නිලධාරීන් විසින් ආපදාවලට ලක්වූ පුද්ගලයින් ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා ලෙසද ආරක්ෂක ලේකම්වරයා ආපදාවට ලක්වූ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මෙහිදී පැවසුවේ ආපදාවට ලක්වූවන්ට ආරක්‍ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙසත් ඔවුන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට සුදානම් කරමින් ඇති බවයි.
මේ වන විට ගුවන් යානා නාවික බෝට්ටු හා යුද භට පිරිස් ආපදාවට ලක්වූවන් මුදා ගැනීම සඳහා කටයුතු සිදුකරමින් මෙහෙයුම් දියත් කර ඇති බවත් ඇතැම් ස්ථානවලදී කාලගුණය ඊට බාධාවක් ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
සියලු ආපදාවන්ට කළමනාකරණයට මේ වන විට යුද හමුදා මුලස්ථානයේ ක්‍රියාන්විතය මැදිරියක් ස්ථාපිත කර ඇති අතර යුද හමුදා භට පිරිස් 20500ක් ආපදාවට ලක්වූ පිරිස මුදා ගැනීමට යොදවා ඇති බව යුද හමුදාපතිවරයා පැවසුවා.
යුද හමුදාපතිවරයා කියා සිටියේ ආපදාවට ලක්වූ සියලු ජනතාවට ආහාර සැපයීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාවට පවරා ඇති බවයි.
දැනටමත් ආපදාවට ලක්වූ පුද්ගලයින් 4766ක් මුදා ගැනීමට සමත්ව ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කර ගැනීමට ඇතැම් ස්ථානවල අපහසු වී ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.
මේ අතර නාවික හමුදා සහන කණ්ඩායම් 141ක් මේ වන විට සුදානමින් පවතින බවත් එයි සහන කණ්ඩායම් 32ක් මේ වන විට යොදවා ඇති බවත් නාවික හමුදාපතිවරයා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ විශේෂයෙන්ම ගංවතුර මුදා ගැනීම් සහ ගමන් පහසුව සැලසීම නාවික හමුදා භට පිරිස්වල මුලික වගකීම වන අතර ධීවරයින් ගලවා ගැනීමටත් මේ වන විට මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි.
මේ අතර සහන සේවා සැලසීමට ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා 6ක් ස්ථානගත කර ඇති නමුත් පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කටයුතුවලට බාධා ඇතිව තිබෙන බව ගුවන් හමුදාපතිවරයා මෙහිදී පැවසුවා.
කෙසේ නමුත් මේ වන විට ගුවන් හමුදා භට පිරිස් 1600ක පිරිසක් බදුල්ල හා මහනුවර යන ප්‍රදේශ මුලික කර ගනිමින් මේ වන විට මුදා ගැනීමේ මෙහෙයුම්වලට දායකත්වය දක්වා තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ඉන්දීය යුද නෞකාවේ ඇති ගුවන් යානා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවයි.
නමුත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ගුවන් යානා ගුවන් ගත කිරීමට ඔවුන්ට අසීරු තත්ත්වයක් පවතින බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුවට එක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 40ක් ගොඩබිම දෙසින් ස්ථානගතව පවතින බවයි.
මේ අනුව වර්ෂාපතනය තවදුරටත් පවතින අතර එහි ප්‍රමාණාත්මක වෙනස්කම් සිදුවිය හැකි බවත් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා සබරගමුව යන පළාත්වලට තද වැසි ඇති විය හැකි බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළා.
ඔහු පැවසුවේ තවද ගාල්ලට හා මාතරට මි.මී 150ක පමණ වැසි ඇති විය හැකි බවයි.
සුළි කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 60 - 70ත් අතර හෝ පැයට කිලෝමීටර 80ක වේගයෙන් යුත් සුළං ඇති විය හැකි බවත් මෙම තත්ත්වය හේතුවෙන් මුහුදු රළ මීටර් 2 - 3ක් පමණ ඉහළ යා හැකි අතර, හෙට (29) දිනයේ සුළි කුණාටුවේ බලපෑම දකුණු පළාතට අඩු විය හැකි බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ජීවිත බේරා ගැනීම පළමු කාර්ය වන බැවින් අනතුරු ඇඟවීම් නිකුත් කළ පසුව වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසයි.
ඇතැම් ස්ථානවල ජනතාව ඉවත් කිරීමට පොලීසිය පවා යෙදවීමට සිදුවූ බවත් අනතුර තමා ළඟට පැමිණීමට පෙර තමා එතැනින් ඉවත් වන ලෙසත් අධ්‍යක්ෂවරයා ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.
මේ වන විට දිස්ත්‍රික්ක 25ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 285ක පවුල් 44192ක් ආපාදවට ලක්ව තිබෙනවා.
පුර්ණ ලෙස නිවාස 42ක් විනාශයට පත්ව ඇති අතර අර්ධ හානි නිවාස 2810ක් විනාශයට පත්ව ඇති බවත් එම නිවාස නිවාසයකට රුපියල් ලක්ෂ 25ක් බැගින් ලබාදී නියමිතයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසුවේ මහා පරිමාණ වැව් 50කට අධික ප්‍රමාණයක් හා මධ්‍යම පරිමාණ වැව් 50කට අධික ප්‍රමාණයක් වාන් දමින් ඇති බවයි.
අවිස්සාවේල්ලෙහි ඇති ජල මාපකයෙහි ප්‍රමාණය අනුව 2016 ගංවතුරට වඩා වැඩි ගංවතුරක් කොළඹට හෙට (29) රාත්‍රියේ ඇති විය හැකි බවට බලාපොරොත්තු වන බවත් කැලණි ගංගාවේ ජලමට්ටම මේ වනවිට ඉහළ යමින් ඇති බවත් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසුවා.