×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ජනපති පාර්ලිමේන්තුවට පැමිණි කළ සංවේදී කතාව

Local  •  Published on: 2025-12-05 13:48:48

ආපදාවෙන් අහිමිවූ ජීවිත නැවත ලබාදිය නොහැකි වුවද ආණ්ඩුවක් ලෙස ජීවත්ව සිටින පිරිසකට වඩාත් සුදුසු ගුණාංගවලින් සමන්විත රටක් හිමිකර දීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා විවාදයේ අවසන් දින විවාදයට එක්වෙමින්.

ආණ්ඩුව ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවී ඇති බවත් එවැනි ඉරණමක් නැවත ඇති නොවීමට වගබලා ගනිමින් සිටින බවත් ඔහු මෙහිදී කියා සිටියා.

ආපදා හේතුවෙන් මේ වන විට සිය ඥාතීන් සමීපතමයින් අහිමිව ගොස් වේදනාවෙන් සිටින පිරිසට රටක් ලෙස තම සංවේගය ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළා.

"ඕනෑම ව්‍යසනයකදී මිනිස් ජීවිත උඳුරාගන්න පුළුවන්. නමුත් අපිට එකක් පසක් කර තිබෙනවා. ලංකාවේ ජනතාව තුළ තිබෙන මනුස්සත්වය කිසිදු ව්‍යසනයකදී උදුරා ගත නොහැකි ප්‍රබල ගුණාංගයක් බව මෙම ව්‍යවසනයේදීත් ඔප්පු කර තිබෙනවා. මේ මොහොතේදීත් මාතර අය බදුල්ලට ගිහින් ඉන්නවා. ගාල්ලේ අය මහනුවරට ගිහින්. කළුතර අය නුවරඑළියේ ගිහින්. හම්බන්තොට අය පුත්තලමට ගිහින් ඉන්නවා. කවදාවත් තමන් ඇවිද්දේ නැති පාරක් ඔවුන් සුද්ද කරමින් ඉන්නවා. තමන්ගේ ඥාතියෙක් නොවන තමන්ගේ මිතුරෙකු නොවන පුරවැසියෙකුගේ නිවස පිරිසිදු කරමින් ඉන්නවා. අවතැන් කඳවුරුවල ඉන්න පුරවැසියන් එක්ක තමන් හා සමානව උරින්උර ගැටී දුක බෙදාගනිමින් ඉන්නවා. ඒක තමා මම හිතන්නේ අපේ රට තුළ කුමන ව්‍යසනයකදී වුවත් උදුරාගන්න බැරි මනුස්සත්වය මේ ව්‍යවසනයේදී අපිට ඔප්පු කරමින් තියෙනවා."

තවද විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේදී මාතෘ භූමියට ඇති වූ ව්‍යසනය හමුවේ දිවා රෑ නොබලමින් වෙහෙසෙමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඔහු පෙන්වා ඔවුන් විශාල කම්පනයකින් යුතුව ඒ සඳහා මැදිහත්වීම ගැන ස්තුතිය පිරිනමන බවයි.

මේ වන විට ලේ බැංකුවට ඒකක 20000ක පරිත්‍යාගයක් ද අපේ රටේ ජනතාව ලබාදී ඇති බවත් එය කුමන ව්‍යසනයකදීවත් විනාශ කරන්න බැරි මනුෂ්‍යත්වයක් බවදඒ මහතා අවධාරණය කළා.

දියුණු බොහෝ රාජ්‍යයන්ගේ ප්‍රධානතම සාධකය වන්නේ ජනතාවගේ ධෛර්වන්ත මැදිහත් වීම බවද පැවසු ජනාධිපතිවරයා ඇතැම් දේශපාලනඥයින් එයට ද විහිලු කරන තත්ත්වයකට පත්කර ඇති බවයි.

"මේ ව්‍යසනය ඇති වූ විට අපේ ජනතාව මුදාගැනීමට විශාල වෙහෙසක ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් දැරුවා. කලා ඔයේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් කොයි මොහොතේ තමාගේ ජීවිතේ නැති වෙයිද කියන කම්පනයෙන් හිටියා. සමහර මන්ත්‍රීවරු පැයෙන් පැයට ෆේස්බුක් සටහන් ලිව්වා. ඒ වෙලාවේදීත් අපේ නාවික හමුදාව ඒ අය මුදාගැනීමේ වීරෝධාර ක්‍රියාවලියක නිරත වෙලා හිටියා. අසීරු වෙහෙසකර තත්ත්වයක් යටතේ එක් නාවික හමුදා කණ්ඩායමක් මෙම සැඩ පහර පරාජය කරන්න මැදිහත් වෙලා හිටියා. ප්‍රතිඵලයක් ලෙස ඒ පිරිස වහලයක් උඩට ගත්තා. කෙටි වෙලාවකින් බසය ගසාගෙන ගියා. බෝට්ටුවේ ක්‍රියාවිරහිත වුණා. ඒ නිලධාරීන්ටත් තම ජීවිතය ආරක්ෂා කරගන්න වහල මත ඉන්න වුණා. පැය 18කට අධික කාලයක් 70කට ආසන්න පිරිසක් මහා සැඩ පහරක් මත ඒ වහලය මත ඔවුන්ට ජීවත් වෙන්න ධෛර්ය දුන්නේ ඒ නාවික හමුදා නිලධාරීන් තුන්දෙනා. පාන්දර 3.30 ත්‍රිකුණාමලය ඉඳන් නොච්චියාගමට එද්දි නාවික හමුදා නිලධාරීන් එතකොටත් සමහරු ෆේස්බුක් සටහන් ලියනවා දැන් පැය 17යි කියලා. දුෂ්කර ව්‍යායාමයක්. මම ස්තූතිවන්ත වෙනවා ඒ ගමේ තරුණයින් දෙදෙනෙකු වෙනත් පාරක් පෙන්වා දුන්නා 70 දෙනාම නිරුපද්‍රිතව මුදාගත්තා. රෝහල්ගත කරාම එක් අයෙක් මියගියා."

ආපදා අවස්ථාවේ දී මාවිල්ආරු බැම්ම කඩාගෙන යන අවස්ථාවේදී හමුදාව පොලීසිය සහ ජනතාව මුල් වී දහස් දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට සමත් වූ බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ඔහු පැවසුවේ මෙම අවස්ථාවේ දී තත්ත්වය කළමනාකරණය කිරීමට ජීවිත පුජා කරමින් ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය සේවය විශාල කැප කිරීමක් සිදුකළ බවයි.

"කනගාටුවට කරුණ වන්නේ, එම ව්‍යසනය සිදුවන වේලාවේදීත් සීත කාමරවල සිටිය මහත්වරු ලස්සනට ඇඳගෙන සුවඳ විලවුන් ගහගෙන ගිහින් දිසාපතිගෙන් ප්‍රශ්න කරනවා. කොතැනද මේ තියෙන්නේ. ඒ නිසා රාජ්‍ය සේවකයා මේ ව්‍යසනයේදී සිදුකළ කාර්යභාරය පිළිබඳව අපි බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතුයි."

සෞඛ්‍ය සේවය ජනතාවගේ ජීවිත රැකගන්න විශාල කාර්ය භාරයක් සිදුකළ බවද ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළා.

ඒ මහතා පැවසුවේ ව්‍යසන කළමනාකාරී පනත තුළින් මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණදීමට නොහැකි වීම හේතුවෙන් විපක්ෂයේ නායකවරුන්ගේ ඉල්ලීම මත මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට කටයුතු කළ බවයි.

"සාමාන්‍ය නීතිය අපිට මෙවැනි ව්‍යසනයකට මුහුණදීම සඳහා මෙවැනි මොහොතකදී ප්‍රමාණවත් නෑ. සාමාන්‍ය නීතියට උඩින් තියෙන ශක්තිමත් නීතියක් අපට අවශ්‍යයි මෙවැනි මොහොතකදී. කිසිසේත්ම ව්‍යවස්ථාව හෝ පනත උල්ලංඝනය කරලා නෑ. අපි බැලුවේ මේ ව්‍යසනයට මුහුණදෙන්න වඩාත් යෝග්‍ය නීතිය කුමක්ද කියලා. අපි කල්පනා කළා වඩාත්ම යෝග්‍ය පනත මහජන ආරක්ෂක පනත කියලා. එයට විපක්ෂ නායකයින් සහාය ලැබුණා. ඒ ගැන බෙහෙවින්ම ස්තූතියි. එහෙත් මෙම මහජන ආරක්ෂක පනත කිසිසේත්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමට උපයෝගී කරගන්නේ නෑ. මාව හෝ අපේ අමාත්‍යවරු විවේචනය කිරීම අපි ගණන් ගන්නේවත් නෑ. අවලාද අදාළම නෑ. හැබැයි මෙම නීතිය උපයෝගී කරගන්නවා ජනතාව බියවද්දවන්න, ජනතාව නොමග යවන්න හෝ මෙම සාමකාමී තත්ත්වය අවුල් කිරීම සඳහා ව්‍යසනකාරි ප්‍රජාව ඇතුළේ යම් ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට කවුරු හෝ උත්සාහ කරනවා නම් එය අපි මේ ව්‍යසනයෙන් මිදීමට කරන සැලැස්මට බාධාවක්. ඒ පැත්තෙන් විතරයි අපි මේ නීතිය උපයෝගී කරගන්නේ. එහෙම නැතුව ජනතාවගේ ලියන, කියන අදහස් අපි සැලකිල්ලට භාජනය කරන්නේ නෑ."

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් ජනතාව නොමඟ අරින අයට විරුද්ධව මෙම නීතිය උපයෝගී කර ගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කළා.

මෙවැනි මොහොතක තමාට අවශ්‍ය වන්නේ ඉතාම සාමකාමී සහ ප්‍රවේශම්සහගත මැදිහත්වීමක් තුළින් මෙම ව්‍යසනයෙන් ගොඩඒම බවද ඒ මහතා කියා සිටියා.

සද්භාවයෙන් මෙවැනි ව්‍යසනය තුළ තීරණ තීන්දු ගත් සෑම නිලධාරියෙක්ම ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීම බවද පැවසු ජනාධිපතිවරයා ලංකාවේ පළමු වතාවට ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500ක් දක්වා වියදම් කිරීමේ බලයක් ලබාදුන් බවයි.

මෙවැනි ව්‍යසනයකදී සාම්ප්‍රදායික නීති රාමුවක කොටුවිය යුතු නොමැති බවත් මේ වන විට කඩිනමින් නිවාස වෙත යා හැකි ජනතාවට එම ස්ථානයන් වෙත යෑමට ඉඩ සලසා දීමට කටයුතු කරමින් සිටි බවද පැවසුවා.

මේ වන විට ආපදා හේතුවෙන් නිවාස 5165 විනාශ වී ඇති බවත් අර්ධ හානි සිදුවූ නිවාස 57312ක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ආපදා හේතුවෙන් ලක්ෂ 17කට අධික පිරිසක් මෙම ආපදා තත්ත්වයට මුහුණ දී ඇති බවත් එය ආර්ථිකයට දරාගත නොහැකි තත්ත්වයක් බවත් ජනාධිපතිවරයා සිය කතාවේදී වැඩිදුරටත් සඳහන් කළා.

"අපේ රටේ ආර්ථිකය තියෙන්නේ හොඳම තැනක නෙමෙයි. අපේ රටේ ආර්ථිකයට භාහිරින් එන කුඩා කම්පනයකටත් ඔරොත්තු දෙන්න බෑ. අපි මේ ආර්ථිකය ඉතා සීරුවෙන් කළමනාකරණය කරමින් ඉදිරියට යන ගමනක්. හැබැයි සමහරු වියරු මනසක් තියෙන අය කුරිරු මනසිකින් ජීවත් වෙනවා අපේ ආර්ථිකය ගැන."