ශ්‍රී පාදයේ වන්දනාවේ යන බැතිමතුන්ට පොලීසියෙන් විශේෂයෙන් නිවේදනයක්
Local • Published on: 2025-12-06 10:49:25
ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව පිළිබඳව පොලිස් මුලස්ථානය විසින් දැනුම්වත් කිරීමක් කර තිබෙනවා.
අදාළ නිවේදනයට අනුව ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති මහගිරිදඹ ප්‍රදේශයේ ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් මේ වන විට පවතින භූ අස්ථාවරත්වය සම්බන්ධව ගවේෂණයක් සිදුකර ඇති බව සඳහන් කරනවා.
මේ අනුව එම ගමන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ නිර්දේශ ක්‍රියාත්මක වන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ ඉහත අස්ථාවර කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම සීමා කළ යුතු බවට පොලීසිය විසින් දැනුම් දී ඇති බව සඳහන්.
හැටන් ප්‍රවේශ මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම අවධානම් තත්ත්වයක් පවතින බැවින් බැවින් ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා ඉහළට ගමන් කිරීමේදී බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා එම ගමන් මාර්ගයේ සීමා කිරීම් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද පොලීසිය පවසනවා.
තවද ශ්‍රී පාදස්ථානය ශ්‍රී පාද වන්දනාවට අපේක්ෂා කරන බැතිමතුන් තම ප්‍රදේශයන්හි සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ දී පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ගමන් මාර්ගයන් පිළිබඳව දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව ක්‍රියා කරන ලෙසට පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
ශ්‍රී පාද වන්දනා වාරය පසුගිය 04 වන දිනට යෙදුණු උදුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ වුණා.