ගංවතුරෙන් හානි වූ රාජ්‍ය ලේඛන සුරැකීමට අධි ශීතකරණ ඉක්මණින් ඕනෑ - ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව
Local • Published on: 2025-12-08 02:04:57
ගංවතුරට හානි වූ රාජ්‍ය ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කිරීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව අධි ශීතකරණ පහසුකම් සඳහා හදිසි මහජන ආයාචනයක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීර රූපසිංහ පවසන්නේ දිලීර වර්ධනය වීම නැවැත්වීමට වහාම පියවර නොගතහොත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි ලේඛන ස්ථිර විනාශයකට මුහුණ දීමේ අවදානමක් ඇති බවයි.
ඝන මීටර් සිය ගණනක ගංවතුරට ලිපි ලේඛන තෙමී ඇති බවත් දිලීර හැදී මෙම ලේඛන ස්ථිරවම විනාශ වීමට විශාල කාලයක් නොමැති බවත් ඇය පෙන්වා දෙනවා.
ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ කියා සිටින්නේ තෙත ලේඛන ආරක්ෂා කිරීම සඳහා අධිශීතකරණ ගත කිරීම තීරණාත්මක පළමු ප්‍රතිචාර ක්‍රමයක් බවයි.
“ජලයෙන් හානි වූ ලේඛන අධි ශීතගත කිරීම දිලීර වර්ධනය නවත්වන අතර නිසි සංරක්ෂණ ප්‍රතිකාරයක් යොදන තෙක් ද්‍රව්‍ය ස්ථාවර කරනවා. මෙවැනි අධි ශීත පහසුකම් නැතිව අපට වැදගත් වාර්තා, ඉඩම් ලේඛනාගාර, අධිකරණ ලේඛන, ඓතිහාසික වාර්තා සහ මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සාක්ෂි අහිමි වේවි ඒ නිසා එය අත්‍යවශ්‍ය කාරණයක් .”
මෙම තත්ත්වය මත රටපුරා ගංවතුරට සිය ලේඛන වාර්තා හසුවූ රාජ්‍ය ආයතනවලට ඉතා ඉක්මණින් ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි ස්ථාවර සහ ජංගම අධිශීතකරණ අවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
“මෙය දැනටමත් දුෂ්කර කාලයක අසාමාන්‍ය ඉල්ලීමක් බව අපට වැටහෙනවා. දැනට යම් අයකු සතුව එවැනි අධි ශීත පහසුකම් පවතින්නේ නම් සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා වූ කාලයක් සඳහා ලබා දෙන ලෙස අප ආයාචනය කරනවා“.
මේ සම්බන්ධව තොරතුරු විමසීමට එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් අප දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.
එහිදී ඔහු පැවසුවේ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන රැසක වටිනා ලිපි ලේඛන රැසක් ගංවතුරට හසුවී ඇති බවයි.
එම ලේඛන ආරක්ෂා කිරීමට රජය මැදිහත් වී හෝ නැත්නම් පෞද්ගලික මට්ටමෙන් අධි ශීතකරණ ලබාගෙන ගංවතුර හසුවූ ලිපිලේඛන ආරක්ෂා කරගත යුතු බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.