අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට නැවත වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග
Local • Published on: 2025-12-12 02:51:04
මුදල් විශුද්ධිකරණය පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාළව ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් නැවත විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.
මෙම පැමිණිල්ල ඊයේ (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබුවා.
පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගම, හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙප්රි ඇලෝසියස්, කසුන් පලිසේන ,පි.එම්.ගුණවර්ධන, මුත්තු රාජා සුරේන්ද්‍රන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.
අනෙක් සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අජාන් ගාර්ධිය පුංචිහේවා යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිට නොමැති බව සඳහන්.
එම සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නැවත විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන්කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
ඉන්පසු අදාළ පැමිණිල්ල ලබන මැයි මස 21 වනදා කැඳවන ලෙසද නියම කළා.