හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ගැන තීන්දුවක් ගනී
Local • Published on: 2026-01-13 02:11:41
හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේ දී අවසන් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර ඊයේ (12) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2027 වසරේ දී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය ඒකාබද්ධව සැමරීමට ද දෙපාර්ශවයම එකඟ වූ බවයි.
ද්වී පාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාම මෙම රැස්වීමේ අරමුණ වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක් පැවැති සුහදත්වය සහ දශක හතරකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු තහවුරු වූ දිගු කාලීන මිත්‍රත්වය සහ කාලානුරූපී සහයෝගීතාවය අමාත්‍යවරුන් දෙදෙනාම නැවත තහවුරු කළ බව සඳහන්.
වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍රවල හවුල්කාරීත්වය වැඩි දියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබෙනවා.
මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වේගවත්ව යථා තත්ත්වයට පත් වනු ඇතැයි විශ්වාස කරන බවයි.