දැන්ම ඉවත් වෙන්න - ඉරානයේ ඉන්න අමෙරිකානුවන්ට විශේෂ දැනුම් දීමක්
Foreign • Published on: 2026-01-14 07:38:41
ඉරානයේ සිටින අමෙරිකානු වැසියන්ට වහාම එරටින් ඉවත් වන ලෙස ඉරානයේ පිහිටි (virtual) ඇමරිකානු තානාපති කාර්යාලය හදිසි ආරක්ෂක දැනුම් දීමක් නිකුත් කර තිබෙනවා.
එම කාර්යාලය සඳහන් කරන්නේ ඉරානයේ පවතින විරෝධතා උද්ඝෝෂණ සහ නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවයි,
ඒවා ප්‍රචණ්ඩකාරී වීමෙන් පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමට සහ තුවාල ලැබීමට ඉඩ ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් අමෙරිකානු වැසියන් වහාම ඉරානයෙන් ඉවත් විය යුතු බවත් ආරක්‍ෂිත නම් තුර්කිය හෝ ආර්මේනියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් ඉවත් වීමට සලකා බැලිය යුතු බව ඉන් පෙන්වා දී තිබෙනවා.
දැනටමත් දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වන තර මාර්ග වසා දැමීම්, පොදු ප්‍රවාහන බාධා කිරීම් සහ අන්තර්ජාල විසන්ධි කිරීම් සිදුවෙමින් පවතිනවා.
ඉරාන රජය ජංගම ස්ථාවර සහ ජාතික අන්තර්ජාල පද්ධතියට ප්‍රවේශ වීම මේ වන විට සීමා කර තිබෙනවා.
ඊට අමතරව ගුවන් සමාගම් විසින් ඉරානය වෙත සහ ඉරානයෙන් පිටතට යන ගුවන් ගමන් සීමා කර හෝ නතර කර තිබෙන බවද වාර්තා වනවා.
ඉවත් වීමේදී අමෙරිකානු රජයේ සහාය මත පදනම් නොවන සැලසුමක් සකස් කර ගන්නා ලෙසත් ඉවත් වීමට නොහැකි පිරිස ආහාර, ජලය සහ ඖෂධ රැස් කරගෙන ආරක්‍ෂිත ගොඩනැගිල්ලක රැඳී සිටිය යුතු බව දැනුම් දී තිබෙනවා.
ඔවුන් උපදෙස් දී ඇත්තේ විරෝධතාවලින් ඈත්ව සිටින ලෙසත් අවට සිදුවන දේ පිළිබඳව අවධානයෙන් පසුවී ප්‍රාදේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසත්ය.
තවද දුරකථන ආරෝපණය කර තබා ගනිමින් පවුලේ අයට සහ මිතුරන්ට දැනුම් දෙන ලෙසත් ආරක්ෂක යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට 'Smart Traveler Enrollment Program (STEP)' හි ලියාපදිංචි වන ලෙසත් අමෙරිකානුවන්ට සඳහන් කර තිබෙනවා.
ඊට අමතරව අමෙරිකානු ඉරාන ද්විත්ව පුරවැසියන් ඉරාන විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින් ඉරානයෙන් පිටවිය යුතු වනවා.
ඉරානය ද්විත්ව පුරවැසිභාවය පිළි නොගන්නා අතර එවැනි පුද්ගලයින් සලකනු ලබන්නේ ඉරාන පුරවැසියන් ලෙස පමණි.
අදාළ ආරක්ෂක අනතුරු ඇඟවීම මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අමෙරිකාව සමඟ සම්බන්ධකම් පෙන්වීම ඉරාන බලධාරීන් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් විය හැකි බවයි.
අමෙරිකානු විදේශ ගමන් බලපත්‍ර භාවිතා කර තුර්කියට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටින එරට වැසියන් ඇන්කාරා හි අමෙරිකානු තානාපති කාර්යාලයේ පුරවැසි සේවා ඒකකයට (Ankara-ACS@state.gov) තම නම, උපන් දිනය, විදේශ ගමන් බලපත්‍ර තොරතුරු සහ එහි ඡායාරූපයක් එවිය යුතු බව එහි දැක්වෙනවා.
තවද ආර්මේනියාවේ Agarak, Norduz දේශ සීමාව ද විවෘත කර පවතින අතර අමෙරිකානු ජාතිකයන්ට දින 180ක් දක්වා වීසා නොමැතිව එහි රැඳී සිටිය හැකි වනවා.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පසුගිය වසරේ ජුනි මසදී පවතින ගැටුම් වැනි නොසන්සුන් අවස්ථාවලදී අසර්බයිජානයට ඇතුළු වීම සීමා විය හැකි බැවින් විකල්ප මාර්ග සලකා බලන ලෙස උපදෙස් දී තිබෙනවා.