×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

වර්ථමාන පාලනය තුළ ජාතිවාදී ගැටුම් අවමයි - ජනපති

Local  •  Published on: 2026-01-15 14:50:31

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ගෙවුණු කාලය ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම හා ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වලම වූ කාලය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ යාපනය වේලනෛහි පැවති තෛපොංගල් උත්සවයක් අමතමින්.

"දෙමළ ජනතාවගේ වැදගත්ම සංස්කෘතික දිනය වන තෛපොංගල් දිනයේදී මටත් ඔබ සමඟ එක් වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා.

ඒ වගේම දෙමළ ජනතාවගේ සංස්කෘතිය අනුව අද තමයි නව වසර උදා වන්නේ. නව වසරකින් අපි සියලුදෙනාට නව ප්‍රාර්ථනා, නව බලාපොරොත්තු ඇති වෙනවා. විශේෂයෙන් ජනතාව ලෙස ඔබට විශාල බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඇති.

ඒ වගේම රටක් ලෙස අපට නව බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව වන්නේ තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු පොහොසත් රටක් නිර්මාණය කිරීමයි.

අපි පොහොසත් රටක් කියන්නේ ධනයෙන් ඉදිකිරීම්වලින් පමණක් පොහොසත් රටක් නොවෙයි. ඊට වඩා විශාල අංශ ගණනාවකින් පොහොසත් රටක් නිර්මාණය කළ යුතුයි. අපි බලයට පත්ව දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතව තිබෙනවා. එම වසර ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම, ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමගිය වෙනුවෙන් පොරබැදී වසරක්. වෙනදා අපේ රටේ බොහෝ ජාතිවාදී ගැටුම්, ජාතිවාදී ප්‍රවණතා පැන නගිනවා. අපිට අවශ්‍ය ජාතිවාදයෙන් තොර ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක්.

කුමන තැනක ඉපදුණත්, කුමන භාෂාව කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් මේ සෑම කෙනෙකුටම අපේ රටේ අභිමානවත් පුරවැසියෙක් ලෙස, අයිතින් සමඟ ජීවත්වීමේ වටපිටාව සකස් කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ වගේම අප අතර විවිධ සංස්කෘතීන් තිබෙනවා. රටක් ලස්සන වීමට සහ ජනතාව අතර විශ්වාසය ඇති වීමට සෑම සංස්කෘතියකටම ගරු කිරීම සහ පිළිගැනීම ඉතා වැදගත්. අපි එවන් රටක් ගොඩනැගිය යුතුයි. එය අපේ අපේක්ෂාව බවට පත්ව තිබෙනවා.

ඒ වගේම ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් අපි උරුම කර දිය යුතුයි. විශේෂයෙන් හොඳ නිවසක් ලබා දීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය දියුණු කර හොඳ ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම, තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම ආණ්ඩුවක් ලෙස අප තුළ තිබෙන අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි.

මම දන්නවා මෙහි සිටින බොහෝ අය පසුගිය මහ මැතිවරණයේදී අප කෙරෙහි විශ්වාසය තැබුවා. මේ යාපනයේ දිස්ත්‍රික්කය ලංකාවේ පළමු වතාවට අපි ජයග්‍රහණය කළා. ඒ කියන්නේ ඔබ අප කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මම ඔබට සහතික වෙනවා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳකින්වත් බිඳ වැටීමට ඉඩ නොතබා ජාතිවාදයෙන් තොර, ජාතික සමගිය පිරුණු රටක් නිර්මාණය කරනවා කියලා. ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා. අපි කාටත් සතුටින් සිටිය හැකි රටක් අපි හදනවා. ඔබ සියලුදෙනාගේ අපේක්ෂාව එයයි. එම අපේක්ෂාව ඉටු කිරීම වෙනුවෙන් අපි නොපිරිහෙළා වගකීම් ඉටු කරන බවට මම ඔබට සහතික වෙනවා.

මෙම තෛපොංගල් දිනයේදී අපි එක ප්‍රාර්ථනාවක් කරමු. අපි එක්ව සිටිමු. අපි  දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වෙනුවෙන් තිර අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට එන ලෙස සියලුදෙනාට ආරාධනා කරනවා."