×

Search News

LATEST NEWS

හානි පූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියට ඇප

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වන සේපාලිකා සමන් කුමාරි මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

මේ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද නියෝග කර තිබෙනවා.

තවද හානි පූර්ණ කාර්යාලය කටයුතුවලට සම්බන්ධ නොවන ලෙස සැකකාරියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය හානි පූර්ණ කාර්යාලයට කටයුතුවලට යෙදවීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යංශය ලේකම්ට නියම කළා.

සැකකාරිය දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වීම සහ ඇය මෙම සිද්ධිය හරහා මුල්‍ය වාසියක් ලබා නොගැනීම යනා දී කරුණු සුවිශේෂී සැලකිල්ලට ගනිමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත් මෙහිදී සඳහන් කළා.

ඉන්පසුව පැමිණිල්ල මේ මස 14 වනදා කැඳවීමට ද නියම වුණා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කිරීමෙන් අනතුරුව ඊට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 88ක (8,850,000) මුදලක් ගෙවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Previous Article Next Article