×

Search News

LATEST NEWS

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්ථාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තරඟාවලියේ ආරක්ෂාව පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග එරට පාර්ලිමේන්තුවට අද (13) දැනුම් දීමෙන්.

පාකිස්ථාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් මහතා ද ආරක්ෂාව පිළිබඳව මෙරට බලධාරීන් දැනුම්වත් කර ඇති බවද වාර්තා වනවා.

පාකිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා මෙහිදී පවසා ඇත්තේ "අපේ හමුදාව සහ පැරාමිලිටරි භටයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා".

පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැති පළමු එක්දින තරඟය ආරම්භ වීමට විනාඩි කිහිපයකට පෙර එරට අගනුවර වන ඉස්ලාමාබාද් හි අධිකරණයක් ඉදිරිපිට දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වුණා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙක් මියගොස් තවත් 27කට තුවාල සිදු කරමින් එල්ල මෙම ත්‍රස්ත ප්‍රහාරය වසර ගණනාවකට පසු ඉස්ලාමාබාද් හිදී සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙනවා.

ඊට අමතරව ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට ක්‍රිකට් ක්‍රීඩාංගණයට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට ඇත්තේ කිලෝමීටර් 10කටත් අඩු දුරකි.

Previous Article Next Article