×

Search News

LATEST NEWS

ප්‍රදේශ කිහිපයක නාය යෑම් සක්‍රීය වීමේ අවධානමක්?

දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇති ස්ථානයක් වන ඇල්ල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නාය යෑමේ දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසුවේ මේ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

මේ අත‍ර රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි කඳු වැටි කිහිපයක නායයාම් අද (10) දින නැවත සක්‍රීය ඇති බව රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩී.ඩී.එස්.තක්ෂිලා ගුණරත්න මහත්මිය පවසනවා.

ඇය සඳහන් කරන්නේ දික්යාය පුඩුල්ල කන්ද, කළුකැලේ කන්ද, බුබුල වසමේ නියන්තලාගල කන්ද, අරාව වසමේ පේනහේන කන්ද, පහලඔය වසමේ ඔලගන්ගල කන්ද, කන්දේගම වසමේ පරණගම කන්දේ නාය යාම් මේවන විට සක්‍රියව ඇති බවයි.

ඒ අනුව දික්යාය වසමේ පුඩුල්ල කන්ද පරික්ෂා කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එය නාය යාමක් බවට තහවුරු කර ඇති බව සඳහන්.

"මේ වන විට අප කොට්ඨාසයේ කඳු වැටි කීපයක නාය යෑම් සක්‍රිය වෙමින් පවතිනවා. කළුකැලේ ප්‍රදේශයේ  සිදුවන නාය යෑමෙන් ජනතාවට වන පීඩාව අවම කිරීම සඳහා එම පිරිස  ගම්මානයේ පහළ පිහිටි දික්යාය පාසලට යොමු කිරීමටත් කන්දේගම   ඔළගංගල හා ඒ අවට ප්‍රදේශවල ජනතාව කුරුවිතැන්න   පාසලේ  පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කිරීමටත් පියවර ගෙන තිබෙනවා. සමහර ප්‍රදේශවල නාය යාමට  ලක්වන ප්‍රදේශ ආශ්‍රිතව නිවාස නැහැ. කොහොම වෙතත් අපි සෑම ප්‍රදේශයක්ම ඉලක්ක කර ගනිමින් ජනතාවට හානි සිදුවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව කිව යුතුයි."

මේ අතර හාලිඇල නාරංගල කන්දේ මැද ලෙජර් වත්ත උඩ කොටසේ කන්ද ඉරිතලා පුපුරා ගොස් නාය යාමේ අවධානමක ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (10) පැවසුවා.

එම ප්‍රදේශයේ පවතින වර්ෂාව සමඟ නාරංගල කන්දේ විශාල කොටසක් ඉරිතලා පුපුරා ගොස් ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිලධාරීන්ට කඩිනමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙස දැනුම් දුන් බවත් එම මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ වන විට මෙම කන්ද ආසන්නයේ සිටින ජනතාව දැනටමත් දැනුවත් කර ඇති බවද වාර්තා වනවා.

Previous Article Next Article