×

Search News

LATEST NEWS

දිට්වා ලංකාවට කළ හානිය ඩොලර් බිලියන 4.1ක් - ලෝක බැංකු වාර්තාවෙන් හෙළිවෙයි

පසුගිය මස ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ගොඩනැගිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතල පහසුකම්වල සිදුකර ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

ලෝක බැංකු සමූහය විසින් ඊයේ (22) දින ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාවෙහි මේ බව සඳහන් වනවා.

ඔවුන් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවයි.

අදාළ වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඩොලර් මිලියන 689ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙනවා.

තවද මාර්ග, දුම්රිය මාර්ග, පාලම් හා ජල සම්පාදන පද්ධතිය ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඩොලර් බිලියන 1.735ක් ලෙසින් ගණනය කර ඇති බව සඳහන්.

එය සමස්ත හානියෙන් 42%කි.

ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට මෙම දිට්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985කි.

එම වාර්තාවට අනුව වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ඩොලර් මිලියන 814ක හානියක් සිදුව තිබෙනවා.

මේ අතර රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක් ලෙසින් ගණන් බලා ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article