×

Search News

LATEST NEWS

නවකවධ සිද්ධියකට වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

කුලියපිටියා වයඹ විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ කටුපොත, මාරකවිට, උකුවෙල යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙක් මෙලෙස රිමාන්ඩ් භාරයට පත්ව තිබෙනවා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් පහර කෑ සිසුවා මේ වන විටත් තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ යුතු බවත්ය.

සැකකරුවන් ලෙස නම් කර ඇති සිසුන් හා පැමිණිලිකරු එකම සරසවියක සිසුන් බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බව මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කුලියාපිටිය මහේස්ත්‍රාත් මහිල් චිරන්තන සතුරුසිංහ මහතා නියෝග සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඊට අමතරව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා.

Previous Article Next Article