‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාවක්
‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, එම පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීමේ අරමුණින් රජය Rebuilding Sri Lanka ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර, එම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා පරිත්‍යාගශීලී ජනතාවට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.
මෙම වැඩසටහන යටතේ, නිවාස අහිමි වූ පවුල් සඳහා ආරක්ෂිත, තිරසාර සහ මනුෂ්‍යත්වයට ගැළපෙන නව නිවාස ඉදිකිරීමට රජය අපේක්ෂා කරන බව සඳහන් වේ. එමඟින් ආපදාවෙන් පීඩාවට පත් කිසිදු පුරවැසියෙකු අත්නොහැර, ඔවුන්ගේ ජීවන තත්ත්වය පෙර පැවති මට්ටමට වඩා උසස් මට්ටමකට උත්ථාපනය කිරීම රජයේ ප්‍රධාන අරමුණකි.
Rebuilding Sri Lanka වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් හෝ 1800 යන දුරකථන අංකය අමතා ලබා ගත හැකි අතර, ඉඩම් පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයින්ගේ තොරතුරු 011 233 1246 යන ෆැක්ස් අංකයටද යොමු කළ හැකි බව දැනුම් දෙනවා.
එමෙන්ම, ආපදාවෙන් පීඩාවට පත් සහෝදර ජනතාව වෙනුවෙන් Rebuilding Sri Lanka ජාතික වැඩසටහන සමඟ සක්‍රීයව අත්වැල් බැඳ ගන්නා ලෙස දිවයින පුරා සියලු පරිත්‍යාගශීලී ජනතාවට රජය ආරාධනා කරනවා.