වතු සේවක වැටුප් ඉහළ දැමීමට රජය හා වැවිලි සමාගම් අද එකඟතාවයකට
මෙවර අයවැය මඟින් ඉදිරිපත් කළ වතු කම්කරු ප්‍රජාවගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රජය අද (30) ගිවිසුම්ගත වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් 2026 අයවැය මඟින් වතු කම්කරු ප්‍රජාවගේ මුලික වැටුප රුපියල් 1350 සිට රුපියල් 1550 දක්වා රුපියල් 200කින් ද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ද රජය විසින් ගෙවීමට ද යෝජනා කළා.
මේ සඳහා රුපියල් මිලියන 5000ක මුදලක් ද අයවැයෙන් වෙන්කර තිබෙනවා.
ඒ අනුව වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් 400කින් වැඩි වන අතර එය වතුකම්කරු ජනතාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුළ ලැබෙන ඉහළම වැටුප් වැඩි වීම ද වනු ඇති.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයත්, කම්කරු අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ මීට අදාළ ගිවිසුම් ගත වීම අද (30) උදෑසන 9ට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.