×

Search News

LATEST NEWS

නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට ඉදිරිපත් වීමට සුදානම බව දැනුම් දෙයි

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සුදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

තමා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම දැනුම්දීම සිදුකළා.

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය මහතා පැවසුවේ තමා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රදානය කිරීමට තම අධිකරණයට නොහැකි බවයි,

තවද පෙත්සම්කාර නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සුදුසු බවද සභාපති විනිසුරුවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඉන්පසුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම හෙට (16) දහවල් 1.30ට කැඳවන ලෙසද අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

Previous Article Next Article