×

Search News

LATEST NEWS

මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන දෙමාපියන්ගෙන් පැමිණිල්ලක්

සුරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ පහර කෑමට ලක්වූ පාසල් සිසුවෙකු මේ වන විට දින කිහිපයක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

අදාළ සිසුවාගේ දෙමාපියන් සඳහන් කරන්නේ මෙම සිද්ධිය පිළිබඳව සුරියවැව පොලීසියට පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

එම විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම බවද වාර්තා වනවා.

පාසල් සිසුවා දැනට දින 8ක සිට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 16 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.

මේ අතර දරුවාගේ දෙමාපියන් කියා සිටින්නේ සූරියවැව පොලීසියෙන් තම දරුවාට කිසිඳු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමන් මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් සිදුකළ බවයි.

දරුවා වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළ දඬුවම් ලබාදිය බවත් මෙලෙස අමානුෂික ලෙස පහරදීම අනුමත කළ නොහැකි බව එම දරුවාගේ මව පැවසුවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ තමන් මානව හිමිකම් කොමිසමට සහ ළමා ආරක්ෂණ අධිකාරියට මෙන්ම ජනාධිපතිවරයාටද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.

Previous Article Next Article