×

Search News

LATEST NEWS

ආපදා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඉන්දියාවෙන් ඒකාබද්ධ නිල කමිටුවක්

දිට්වා ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ නිල කමිටුවක් පත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.

එරට විසින් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 450ක පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ පැකේජය හැසිරවීම සඳහා අදාළ කමිටුව සකස් වනු ඇති.

සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති, ඉන්දියානු ණය මාර්ගය යටතේ සිදුකළ යුතු මිලදී ගැනීම් සහ ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඉන්දියාවෙන් මිනිස් බලය යෙදවීම පිළිබඳව එම ඒකාබද්ධ කමිටුව විසින් තීරණය කරනු ඇති.

මහ මාර්ග සහ දුම්රිය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය, නිවාස, කෘෂිකර්මාන්තය සහ ක්ෂණික ආපදා ප්‍රතිචාර කණ්ඩායමක් පිහිටුවීම යන කාණ්ඩ පහක් යටතේ මාස තුනක්, මාස හයක් සහ මාස නවයක් තුළ ව්‍යාපෘති නිම කිරීමට අදාළ කමිටුව කාල රාමු තුනක් යටතේ කටයුතු කිරීමට නියමිතයි.

දුම්රිය, නිවාස, වෛද්‍ය, අධ්‍යාපන සහ මාර්ග ඉදිකිරීම් පිළිබඳව ප්‍රතිසංස්කරණ ව්‍යපෘති සඳහා තාක්ෂණික සහාය ඇතුළුව සහාය ලබාදීම සඳහා ඉන්දියානු කණ්ඩායම් මෙහි පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මේ අනුව එහි කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අවශ්‍ය රැස්වීම් පැවැත්වීමේ දී සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අදාළ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමට නියමිතව ඇති.

ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව එම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දියාවේ ආධාර පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 450ක් ඇතුළත් වන අතර ඊට ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් වනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයා ලෙස පසුගියදා මෙරටට පැමිණි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසින් අදාළ සහන පැකේජය පිළිබඳ අනාවරණය කළා.

Previous Article Next Article