×

Search News

LATEST NEWS

එල්ල වුණු සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා - මදුරෝ නිව්යෝර්ක් අධිකරණයේ දී කියයි

තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

දැඩි ආරක්ෂක රැකවල් මැද වෙනිසියුලානු ජනාධිපති සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස මෙහිදී විනිසුරුවරයා ඉල්ලීමක් කර තිබුණා.

ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ නිකලොස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන බවත් පසුගිය 3 වනදා දින සිය නිවසේ දී පැහැර ගැනීමට ලක් වූ බවත්ය.

"මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ" යනුවෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ තමාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් යන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි.

තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවද නිකලොස් මදුරෝගේ බිරිඳ ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

විනාඩි 40ක පමණ කාලයක් පැවැති නඩු විභාගයෙන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් හි බෘක්ලින්හි පිහිටි මෙට්‍රෝපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබුණා.

Previous Article Next Article