ආපදා වන්දි ගෙවන රාජකාරීවලින් ග්‍රාම නිලධාරීවරුන් ඉවත් වෙයි
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 5ක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත් වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ අදාළ ගෙවීම් සිදු කිරීමට එම චක්‍රලේඛයෙහි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
අදාළ ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවද ඔහු සඳහන් කරනවා.
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළා.
කෙසේ නමුත් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ බරපතල අඩුපාඩු ඇති බවට චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය, රජයේ ගණකාධිකාරිවරුන්ගේ සංගමයත් ගෙවීම් කටයුතුවලින් ඉවත් වුණා.
ඉන් අනතුරුව එම දීමනාව ගෙවීමේ වගකීම ග්‍රාම නිලධාරීන් වෙත පැවරුණා.
ඒ අනුව අද (19) සිට තමන් ද එම මුදල් ගෙවීමේ කටයුතුවලින් ඉවත් වන බවද ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.
තවද ආපදා රාජකාරීවල නිරතවන තමන්ට ඒ වෙනුවෙන් ප්‍රමාණවත් දීමනාවක් හිමි නොවන බවද ඔවුන් චෝදනා කරනවා.