අග්‍රාමාත්‍යවරිය ස්විස්ටර්ලන්තයේ දී ABD සභාපති හමුවෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා (Masato Kanda) මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
මෙම හමුව පැවැත්වුණේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි WEF කොංග්‍රස් මධ්‍යස්ථානයේ පැවති 2026 ලෝක ආර්ථික සංසදයට සමගාමීවයි.
ශ්‍රී ලංකාවේ අඛණ්ඩව ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ රටේ ආර්ථික තත්ත්වය ඇතුළු තවත් කරුණු කිහිපයක් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
මේ අතර මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගු කාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය නැවත වරක් තහවුරු කර ඇති බව වාර්තා වනවා.
ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති ද්විපාර්ශ්වික හමුවකදී මෙම සහතිකය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අතරතුරදී මෙම හමුව පැවැත්වූ බවයි.
මෙහිදී ආර්ථික ප්‍රතිසාධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්ථනය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර තිබෙනවා.
ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (19) ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගියා.
ඒ සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, තාක්ෂණ නවෝත්පදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3000කට අධික ගණනක් සහභාගී වනු ඇති.
මෙම සංචාරය අතරවාරයේ දී අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් අතර ඉහළ මට්ටමේ ද්වී පාර්ශවික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතයි.