නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට හානි කරන්න එපා - නීතිඥ සංගමය
නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාගේ තීරණ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර ඇති සංවිධානාත්මක ප්‍රචාරණ ව්‍යාපාරය සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අවධානය යොමු කර තිබෙනවා.
මේ සම්බන්ධව ඔවුන් අද (20) නිවේදනයක් ද නිකුත් කර ඇති බව සඳහන්.
නීතිපතිවරයාට පක්ෂව සහ විපක්ෂව කොළඹ දී විරෝධතා සංවිධානය වෙමින් පවතින පසුබිමක මෙවැනි බලපෑම් එල්ල කිරීම නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් බවද එම සංගමය පෙන්වා දෙනවා.
නීතිඥ සංගමය සඳහන් කරන්නේ අපරාධ නඩු පිළිබඳව අධිචෝදනා ගොනු කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ දී නීතිපතිවරයා කටයුතු කරන්නේ අර්ධ අධිකරණමය වගකීමක් සහිතව බවත් එම තීරණ විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන සාක්ෂි මත මිස මහජන මතය හෝ දේශපාලන බලපෑම් මත නොවන බවත්ය.
සිය නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ නීතිපතිවරයාගේ තීරණයක් සම්බන්ධයෙන් යමෙකුට ගැටළුවක් පවතිනවා නම් එය අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නිත්‍යනුකූලව අභියෝගයට ලක්කළ හැකි බවයි.
සාධාරණ සහ නිසි විමර්ශනයක් ලැබීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති බවද එම සංගමය සඳහන් කරනවා.
ඊට ඔවුන් වික්ටර් අයිවන්ට එරිදව සරත් එන් සිල්වා නඩු තීන්දුව ද උපුටා දක්වා තිබෙනවා.
සිවිල් පුරවැසියන්ට රජයේ නිලධාරීන්ගේ තීරණ විවේචනය කිරීමට අයිතියක් තිබුණත් එය ආයතනික ස්වාධීනත්වය පළුදු කරන මට්ටමේ පක්ෂග්‍රාහී ප්‍රචාරණ ව්‍යාපාරයක් නොවිය යුතු බවද එම සංගමය අවධාරණය කරනවා.
නීතිඥ සංගමය රජයෙන් සහ නීතිය බලාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටින්නේ ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනත්වය සහ අභිමානය ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.