ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවේ ආනයනවලට 25%ක තීරු බද්දක්
දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%ක් දක්වා ඉහළ දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ දකුණු කොරියාව පසුගිය වසරේ වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළෙඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් සෝල් ව්‍යවස්ථාදායකයට චෝදනා කරමිනි.
ඒ අනුව මෙම බදු ඉහළ දැමීම සිදුකර තිබෙනවා.
මෝටර් රථ, දැව සහ ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා මෙලෙස 15% සිට 25% දක්වා බදු ඉහළ දමා ඇති බවයි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දකුණු කොරියාව පවසන්නේ මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට කිසිඳු නිල දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.
මේ සම්බන්ධව වොෂින්ටනය සමඟ කඩිනමින් සාකච්ඡා පැවැත්වීම අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කරනවා.
තවද මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියානු කර්මාන්ත අමාත්‍යවරයා අමෙරිකානු වාණිජ ලේකම්වරයා හමුවීමට නියමිතව තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මසදී අමෙරිකාව සහ දකුණු කොරියාව අතර ඇති කරගත් ගිවිසුමකට අනුව අමෙරිකානු ඩොලර් බිලියන 350ක ආයෝජනයකට එකඟ වුණා.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම තීරණය සමඟ දකුණු කොරියානු කොටස් වෙළෙඳපොලේ ප්‍රධාන අපනයන සමාගම්වල කොටස් මිල පහත වැටී ඇති බවද වාර්තා වනවා.