×

Search News

LATEST NEWS

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද නැවත කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනු කර තිබෙන නඩුව අද (28) නැවත කැඳවීමට නියමිතයි.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දීයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ කාල සීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගී වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

මේ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා 2025 අගෝස්තු මස 22 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

අනතුරුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමට නියෝග කළා.

ඉන්පසුව නඩුව 2025 ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කරනු ලැබුවා.

අදාළ දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශන 2026 ජනවාරි 28 වනදා වන විට අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

Previous Article Next Article