'සිහින පාසලක්' කරා ගෙන යන සැලසුමක් ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්
මෙම වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන් ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වන විට සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ අතුරුගිරියේ ගුණසේකර විද්‍යාලයේ දී අද (29) ආරම්භ වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසර සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින්.
එම දරුවන්ව කිසි විටෙකකවත් අතහැර නොයන බවත් වසරින් වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා.
'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් බවත් එය යථාර්ථයක් කිරීමට කැපවෙන බවද ඇය මේ බව කියා සිටියා.
ආදරණීය දුවේ, පුතේ,
පළවෙනි ශ්‍රේණියෙන් පාසලට ඇතුළත් වන ඔබට, අප තිළිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා 13 වසරක අධ්‍යාපනය තුළින් පාසලෙන් එළියට යන්නේ සමතෙක්, දක්ෂයෙක් විදියට රටට ලෝකයට ප්‍රයෝජනයක් දෙන අයෙක් විදියට බවට මට විශ්වාසයි. අන්න ඒක තමා අපි ඉතාමත්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාලා ඒ ලෝකය භාරගන්න කල්.
ආදරණීය ගුරුවරුනි,
මව් ඇකයෙන් මිදී ඔබ වෙතට පැමිණෙන දරු දැරියන්ට අධ්‍යාපනය පමණක් නොව, ආදරය, සෙනෙහස හා රැකවරණයද ලබාදෙන බව අපි දනිමු. ඔවුන්ට අකුරු පමණක් නොව ජීවිතයද උගන්වන ඔබට ප්‍රණාමය පුදකර සිටිමු. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබගේ කැපවීම මත බව මතක් කිරීමට කැමතියි. ගුරුවරු සමඟ ඇති කරගන්නා සබඳතාවය දියුණු කරගත යුතු අතර, එය අතිශ්‍ය වැදගත්ම දෙයක් ලෙස අපි දකිනවා. එහි ගෞරවණීය බව රැකගෙන වෘත්තීය බව රැකගෙන ඉදිරියට යා හැකි බවට වන විශ්වාසය අප සතුව තියෙනවා.
දයාබර දෙමාපියණි,
ඔබ දරුවන්ව පාසලට භාරදෙන්නේ විශාල බලාපොරොත්තු හා විශ්වාසයකින් යුතුවයි. ඒ සිහින දකින අනාගතයට යා හැකි යන අසීමිත බලාපොරොත්තුව අපි සියලුදෙනා හොඳින් තේරුම් ගෙන ඉන්නේ. ඔබ අපට භාරදුන්න දරුවන්ගේ වගකීම අපි භාරගන්නවා. ඒ බර අපි ගන්නවා. ඔබ දකින සිහිනය, බලාපොරොත්තුව රටට ලෝකයට ප්‍රයෝජනවත් පුරවැසියෙක් බිහිකරන්න දකින සිහිනය අපි තුළත් තියෙනවා. මේ වැඩේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් පමණක් නොව. ජනාධිපති ඇතුළු සමස්ත රජයේම වගකීමක්. ඒ වගකීම අපි භාරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබේ මුදල් පසුබිම්බිය මත ඔබේ දරුවාගේ අධ්‍යාපනය තීරණය වීමට කිසිලෙසකවත් අපි ඉඩනොතබන බව විශ්වාසයෙන් කියන්න කැමතියි.