නාමල්ට එරෙහි නඩුවක් ලබන ජුලි 30 වනදා කැඳවීමට නියෝග
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල නැවත ජූලි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම පැමිණිල්ල අද (29) සැකකාර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයේ පෙනී සිටියා.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
මේ අනුව පැමිණිල්ල නැවත ජුලි මස 30 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට නීතිපති උපදෙස් පිළිබඳ ස්ථාවරය දැනුම් දෙන ලෙසද නියම කළා.
සමාගමක් පවත්වාගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අයථා ලෙස උපයාගත් මුදල් විශුද්ධිකරණයට ලක් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් 2016 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන පැවැත්වෙනවා.