×

Search News

LATEST NEWS

රජය ප්‍රබල ආයෝජකයෙක් විදියට ස්ථාවර කිරීමට අවශ්‍යයි - අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) ඉඩම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති 2027 වර්ෂය වෙනුවෙන් අයවැය සඳහා සූදානම් වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ආයතන ලබාගන්නා ප්‍රගතිය අනුව එහි ප්‍රතිලාභ සේවකයින්ට මෙන්ම සම්පත්දායකයින්ට හිමිවන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මිල්කෝ ආයතනය ලාභ ලබන තැනට මේ වන විට පත්ව තිබෙන බවත් සියලුම සේවකයින්ට බෝනස් මුදලක් ද ලබාදී ඇති බවත්ය.

ඉදිරියේ දී කිරි සපයන ගොවීන්ටද බෝනස් මුදලක් ලබාදෙන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

”අපි දැන් වැඩ කරන්නේ අකුලපු රාජ්‍ය දිගහරින එක. එතකොට ඉල්ලීමකුත් නැතුව වැටුප් වැඩි කරනවා. රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නවා. අපිට උවමනා රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කිරීම. පෞද්ගලික අංශය දිහාම බලන් ඉන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ අපට වෙන්වෙලා තියෙන ප්‍රතිපාදන 90%ක් වත් වියදම් කරන්න. සමාජවාදය කියන්නේ 100%ක්ම රජය. දැන් අපි කරමින් යන්නේ රජයේ පංගුව වැඩි කරගෙන යන එක. පෞද්ගලික අංශයත් එක්ක තරඟකාරීත්වයක් ගේන්න. මම මේ කතා කරන්නේ දේශපාලන ආර්ථික විද්‍යාව. අපි ඉලක්ක පසුපස හඹා ගියොත් අපිට පුළුවන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න.

අපි 2026 වර්ෂයේ ඉලක්ක සපුරා ගන්න ගමන් 2027 වර්ෂය සඳහා සූදානම් විය යුතුයි. 2025 ගත්තොත් අපේ භෞතික ප්‍රගතිය 64%යි. මූල්‍ය ප්‍රගතිය 61%යි. අපිට ගිය අවුරුද්දේ මැයිවල ඉඳන් වගේ තමයි වැඩ කරන්න පටන්ගන්න පුළුවන් වුණේ. ඒ නිසා ලබාගත්ත ප්‍රගතිය සැලකිය යුතු ජයග්‍රහණයක්. ඊට කැපවීම් කළ සියලු නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා. අපේ අමාත්‍යාංශයට අදාළ ආයතන 30ක් තියෙනවා. අපි ඉදිරියේදී එක් එක් ආයතනවලට වෙන වෙනම ගිහින් මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට දෙපාර්තමේන්තුවක ප්‍රගතිය මනින්නේ ලබාදෙන ප්‍රතිපාදන වැය කරන ප්‍රමාණය අනුවයි. මිල්කෝ ආයතනය ගත්තොත් අපි මේ අවුරුද්ද වෙනකොට ලාභ ලබනවා. ඒකෙන් අපි හැම සේවකයෙකුටම බෝනස් මුදලක් ලබා දුන්නා. ඉදිරියේදී මිල්කෝ ආයතනයට කිරි සපයන ගොවීන්ට බෝනස් එකක් දෙනවා. දෙපාර්තමේන්තුවක ප්‍රගතිය මැනීමේදී මං හිතන විදිහට අපි තව නිර්නායක සකස් කරගත යුතුයි.

ආණ්ඩුවට රජය ගැන අවබෝධයකුත් අවශ්‍යයි. රජයට ආණ්ඩුව ගැන අවබෝධයකුත් අවශ්‍යයි. එතකොට තමයි අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ලිබරල්වාදය තුළ රජය ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඒ අය විසින්ම අදහසක් එනවා රජයත් ආර්ථිකයට සම්බන්ධ විය යුතුයි කියලා. මේක සමාජ ලිබරල්වාදය. ආයෙත් කියනවා දැන් රජය ආර්ථිකයෙන් ක්‍රමානුකූලව ඉවත් විය යුතුයි කියලා. ඒක තමයි අපේ රටේ 1977න් පස්සේ පටන් ගත්තේ. ඒකට කිව්වේ නියෝ ලිබරල්වාදය.”

Previous Article Next Article