×

Search News

LATEST NEWS

ඉන්දියාව එක්ක සෙල්ලම් කරන්න බෑ කියූ පාකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්?

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පාකිස්ථානය ඉන්දියාව සමඟ ක්‍රීඩා නොකළොත් පාකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ ලෝක කුසලානයේ දී ඉන්දියාව සමඟ පැවැත්වීමට සැලසුම් කර තිබෙන තරඟය ක්‍රීඩා කිරීම පාකිස්ථානය විසින් වර්ජනය කිරීමෙන් පාකිස්ථානයට දිගු කාලීනව ප්‍රතිවිපාක විඳීමට ද සිදුවන බවට ICC අනතුරු අඟවා ඇති බවයි.

මෙය 1970 දී දකුණු අප්‍රිකාවට පැනවූ තහනමට සමාන වනු ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී තරඟ ක්‍රීඩා කිරීම සඳහා ඊයේ (02) රාත්‍රියේ පාකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා.

පාකිස්ථානය ගත් මෙම තීන්දුව සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම තීරණය හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි ගෙන දෙන බවයි.

ඉන්දියාව සමඟ තරඟ කිරීමට නොහැකි බව පාකිස්ථානය විසින් ගත් තීරණය සම්බන්ධව ICC ය වෙත නිල වශයෙන් දැනුම් දී නොමැති බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙනවා.

ICCය සඳහන් කරන්නේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයක් වැනි ගෝලීය ක්‍රීඩා තරඟාවලියකට සුදුසුකම් ලැබූ සියලු කණ්ඩායම් සඳහා සමාන කොන්දේසි යටතේ නියමිත තරඟ කාල සටහනට අනුව ක්‍රීඩා කිරීම මුලික අරමුණ වන බවත් පාකිස්ථානය ගත් මෙම තීරණය ඊට පටහැනි බවත්ය.

තවද මෙම තීරණය හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය, අඛණ්ඩතාව සහ තරඟකාරීත්වය, සාධාරණත්වය ද බිඳ වැටීම තුළින් මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයින්ට ද යහපතක් නොවන බවද ඔවුන් පෙන්වා දෙනවා.

ලෝක ක්‍රිකට් හි සාමාජිකයෙක් සහ ප්‍රතිලාභ ලබන පාකිස්ථානය ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට හානි ගෙන දීම තමන්ටම හානි කර ගැනීමක් සිදුවන බවද ICCය පවසනවා.

මේ අතර පාකිස්ථානය ඉන්දීය තරගය වර්ජනය කළත් සැලසුම් කළ පරිදි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ පුහුණුවීම් සහ නිල ප්‍රවෘත්ති සාකච්ඡාවට වීමට පෙබරවාරි මස 15 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත පැමිණෙන බව ඉන්දීයාව පවසනවා.

Previous Article Next Article