×

Search News

LATEST NEWS

මහා බ්‍රිතාන්‍යයේ පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එම ප්‍රාන්තය පූරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

ඊට අමතරව එම ප්‍රාන්තය පුරා අතිරේක මුර සංචාර සිදු කිරීමට සඳහා එරට යොදා ඇති බව සඳහන්.

එංගලන්ත වේලාවෙන් පසුගිය 4 වනදා රාත්‍රී 9.30ට පමණ සසේක්හි පිහිටි මුස්ලිම් පල්ලියකට කිසියම් පිරිසක් ගිනි තැබීමක් සිදුකළා.

ඉන් කිසිවෙකුට තුවාල සිදු නොවුවත් ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුවට සහ පිටත නවතා තිබූ වාහනයකට හානි සිදුවුණා.

සසෙක්ස් පොලිසිය පවසන්නේ එම ගිනි තැබීම වෛරී අපරාධයක් ලෙස සලකා විමර්ශනය සිදුකරන බවයි.

මේ වන විටත් අදාළ ප්‍රහාරයට පැමිණි බවට සැකකෙරෙන දෙදෙනෙකුගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුකරන බලධාරීන් සඳහන් කරන්නේ මෙම ගිනි තැබීම ජීවිත අනතුරේ හෙළීමේ අරමුණින් සිදු කරන ලද්දක් ලෙස සලකන බවයි.

මේ අනුව වගකිව යුත්තන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ රැසක් සිදු කරන බවද ඔවුන් පවසනවා.

එම පල්ලියේ ස්වේච්ඡා සේවකයෙකු BBC ප්‍රවෘත්ති සේවයට සඳහන් කර ඇත්තේ දෙදෙනෙකු ඉදිරිපස දොරෙන් ඇතුළු වීමට උත්සාහ කළ නමුත් එය අඟුළු දමා තිබූ බවයි.

ඉන් අනතුරුව ඔවුන් දොරටුවට සහ පිටත නවතා තිබූ මෝටර් රථයක් අසල දියරයක් වත් කර එය ගිනි තබා ඇති බව වාර්තා වනවා.

මේ වන විට සති කිහිපයක සිට ජාතිවාදී කණ්ඩායම් දකුණු සසෙක්ස් වෙරළ තීරය පුරා කළු ජාතිකයින්ට සහ ආසියානුවන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔවුන් කොඩි ස්ටිකර් සහ ජාතිවාදී වැකි ඉදිරිපත් කරමින් වෛරය සහ බිය ගැන්වීමේ වාතාවරණයක් ඇති කරමින් සිටින බවයි.

Previous Article Next Article