×

Search News

LATEST NEWS

පේරාදෙණිය කළු පාලම ගැන ශක්‍යතා අධ්‍යයනයක්

මහවැලි ගංගාවේ ගලා ගිය අධික ජල ධාරාව හේතුවෙන් හානියට පත් පේරාදෙණිය කළු පාලම සඳහා ඉංජිනේරුමය විසඳුමක් ලබාදීම සඳහා වූ ශක්‍යතා අධ්‍යයනයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දියත් කොට තිබෙනවා.

පේරාදෙණිය සහ සරසවි උයන දුම්රිය මාර්ගය සම්බන්ධ කොට මහවැලි ගංගාව හරස් කොට ඉදි කොට ඇති මෙම පාලම දිගින් අඩි 348කින් යුක්ත වන අතර බ්‍රිතාන්‍යයේ හොරස් සමාගම මඟින් කොටස් 4ක් වශයෙන් ගෙන්වා වර්ෂ 1897දී සවි කර ඇති බව සඳහන්.

අධික වර්ෂාවෙන් මෙම පාලම මැද කොටසේ ආධාරක කණු වලට හානි වී ඇති බවයි වාර්තා වන්නේ.

එම දෙපාර්තමේන්තුවේ ඉහළ දිස්ත්‍රික් දුම්රිය අධිකාරී ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පවසන්නේ මේ වන විටත් විශාල උණ පදුරු එහි රැදි ඇති බැවින් මුලින්ම පාලම පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි.

මහනුවර කොළඹ දුම්රිය මෙම පාලම මතින් ගමන් කරන අතර පාලමට සිදුව ඇති හානිය හේතුවෙන් එය ප්‍රතිසංස්කරණය කිරීමට පෙර සිදුව ඇති හානිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පේරාදෙණය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, ශ්‍රී ලංකා නාවුක හමුදාවේ දායකත්වය හිමිව ඇති බව සඳහන්.

දුම්රිය අධිකාරී ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ උණ පදුරු ඇතුළු අවහිර වී ඇති කොටස් ඉවත් කරමින් ඇති බවත් ඉන් අනතුරුව පාලමේ පාදමට සහ සෙසු කොටස්වලට සිදුව ඇති හානිය පරික්ෂා කරන බවත්ය.

Previous Article Next Article