×

Search News

LATEST NEWS

මහා පරිමාණ වංචනික ජාවාරමක් ගැන පොලීසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් වංචනික ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම් සම්බන්ධව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසනවා.

ඊට අමතරව රැකියා අවස්ථා, ත්‍යාග දිනුම් ඇදී ඇති අවස්ථා, අසත්‍ය චෝදනා යොමුකර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බවට ද පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වනවා.

පොලීසිය පවසන්නේ අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගැනීම මඟින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේ ද මෙම වංචාවන්ට සිදු කරන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,

"බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටීමින් ගිණුම් හිමියන් අමතා, ඔවුන්ගේ ගිණුම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බැර වී ඇති බව පවසා බිය ගන්වා, මුදල් වෙනත් ගිණුම්වලට යැවීමට සැලැස්වීම,

පොලිසියෙන් බව පවසා ගිණුම් විස්තර සහ මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සහ අන්තර්ජාල සබැඳි (Links) සහ QR කේත (Scan Codes) යොදා ගනිමින් පුද්ගලික බැංකු ගිණුම් අංක, මුරපද (OTP) ආදිය සොරකම් කිරීම යන ක්‍රමවේදයන් පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය සහ පාදුක්ක පොලිස් ස්ථානය වෙත මේ වන විටත් මෙවැනි පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම, මෙවැනි වංචාවලට හසු නොවී සිටීම සඳහා පහත ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කිසිදු අවස්ථාවක බැංකු තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද (Passwords/PIN) හෝ OTP අංක වෙනත් අයෙකුට ලබා නොදීම.

සැක කටයුතු සබැඳි (Links) වෙත පිවිසීමෙන් වැළකීම.

මුදල් තැන්පත් කිරීමට පෙර අදාළ පාර්ශවයේ අනන්‍යතාව තහවුරු කර ගැනීම.

සමාජ මාධ්‍ය පිටුවල නිල භාවය (Verified Badges) පරීක්ෂා කිරීම.

මෙවැනි වංචා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය: 011-2852556 / 075-3994214

පරිගණක අපරාධ විමර්ශන අංශය: 011-2300638 / 011-2381058

තවද, අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 'Cyber Crime Unit' වෙත වහාම පැමිණිලි කරන ලෙස ද පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී."

Previous Article Next Article