ලංකාවට ආපු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ඇඳිරි නීතියක්
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක් නිරත වන එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා මධ්‍යම රාත්‍රී 12න් පසු ක්‍රියාත්මක වන පරිදි විශේෂ ඇඳිරි නීතියක් පනවා තිබෙනවා.
එංගලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පසුගියදා අවසන් වූ අළු බඳුන තරඟාවලියේ දී සහ නවසීලන්ත සංචාරයේ දී ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳව මතුවූ ගැටළුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අනුව ක්‍රීඩකයින් සෑම දිනකම මධ්‍යම රාත්‍රී 12 වන විට නැවත සිය හෝටලය වෙත පැමිණිය යුතු වනවා.
ඊට අමතරව කණ්ඩායම් කළමනාකාරීත්වයේ පූර්ව අනුමැතියකින් තොරව කිසිඳු ක්‍රීඩකයෙකුට ඉන් බැහැරව සිටීමට අවසර නොලැබෙන බවද එම කොන්දේසි ඇතුළත් වනවා.
මේ සම්බන්ධව නිල විනය පද්ධතියක් නිකුත් කර නොමැති අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස තමන් සතු වගකීම පිළිබඳව කොළඹට පැමිණි විගස ක්‍රීඩකයින් දැනුවත් කර ඇති බවද වාර්තා වනවා.
මේ අතර හැරී බෘක්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතය ඊයේ (19) දිනයේ මෙරටට පැමිණියා.
ඔවුන් මෙහිදී පන්දුවාර 50 තරඟ 3කට සහ විස්සයි විස්ස පන්දුවාර තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි.